මුහුණු පොතෙන් ' මුහුණ ' ඉවත්වෙයි

මුහුණු පොතෙන් ' මුහුණ '  ඉවත්වෙයි

facebook හි  පුද්ගල මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය facial-recognition ඉවත් කිරීමට සැලසුම් කරන බව Meta සමාගම පසුගියදා නිවේදනය කළා.

ඡායාරූප සහ වීඩියෝ facebook වෙත upload කළ පසු එහි සිටින පුද්ගලයින් ස්වයංක්‍රීයව හඳුනා ගෙන ඔවුන්ගේ නම් යෝජනා කිරීම හා Tag කිරීමට යොමු කිරීම මේ පහසුකම ඔස්සේ සිදු කෙරුණා.

ඒ සඳහා facebook ආයතනය  මුහුණු දත්ත බිලියන ගණනක් සිය දත්ත එකතුව තුළ රැස් කරගෙන තිබුණා. මේ සියලු දත්ත මකා දමමින් එම පහසුකම ඉවත් කිරීමටයි දැන් ඔවුන් සූදානම් වන්නේ.

මීට හේතු කිහිපයක් ඇති බව වාර්තා වනවා. පරිශීලකයින්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම ඉන් එකක්. එසේම එහි නිවැරදිභාවය පිළිබඳ ගැටළු මතුව තිබීම තවත් හේතුවක් ලෙස සඳහන්. විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු අමෙරිකා ජාතිකයින්ගේ මුහුණු වැරදි ලෙස හඳුනාගැනීම් දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙටා ආයතනය සිය අනෙකුත් තාක්ෂණික අංග සඳහා facial-recognition භාවිත කිරීම සහ එය දියුණු කිරීම දිගටම  සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.