ආදරයේ බෝනික්කෝ

ආදරයේ බෝනික්කෝ

 

" චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලැවිලි ගී මමයි කියන්නේ "

අම්මලා එහෙම තමයි.. දුවෙක් වුණත් පුතෙක් වුණත් නලවන්න සනසන්න විතරක් නෙවෙයි දරුවෙක් වෙනුවෙන් ලෝකයක්ම වුණත් අලුතෙන් නිර්මාණය කරන්න ඇයට පුළුවන්..

නන්දා මාලිනියගේ හඬින් ගැයෙන මහින්ද අල්ගමගේ ගී පද වලින් කියවෙන මේ අම්මා ගැන ඇහෙද්දි  තමන්ගෙ දුව නලවන්න වෙනස්ම විදියෙ බෝනික්කෙක් නිර්මාණය කරලා අද ඒ වගේම විශේෂ දරුවො වෙනුවෙන් සුවිශේෂ බෝනික්කො හදන අම්මා කෙනෙක් ගැන ඔබට කියන්න හිතුණා.

මේ අම්මා තමයි බ්‍රිතාන්‍යයේ ක්ලෙයාර් ටවෙල් (Clare Tawell).

දරුවො දෙන්නෙක් ඉන්න ඇයගෙ දියණිය මැටිල්ඩා නිසයි ඇය මේ විශේෂ දේ පටන් අරගෙන තියෙන්නෙ.


උපතින්ම ශ්‍රවණ ආබාධයක් සහිත මැටිල්ඩාට අවුරුදු හතරෙදි එයාට සෙල්ලම් කරන්න එයා වගේම ශ්‍රවණ උපකරණ පළඳින සෙල්ලම් යාළුවෙක් හොයන්න ක්ලෙයාර් අම්මා බ්‍රිතාන්‍යයේ කඩ සාප්පු පීරමින් ඇවිදල තියෙනවා. ඒත් කිසිම තැනකින් ඒ වගේ සෙල්ලම් බඩුවක් හොයාගන්න ඇයට හැකි වෙලා නැහැ. ඉතින් මේ නිසා තමයි මුලින්ම ඇය තමන්ගෙ දුව සතුටු කරන්න ශ්‍රවණ උපකරණ පළඳින එයා වගේම බෝනික්කෙක් එයාට නිර්මාණය කරල දීලා තියෙන්නෙ. ඒකෙන් මැටිල්ඩා හුඟක් සතුටු වෙලා. මොකද තමන් වගේම සෙල්ලම් යාළුවෙක් ඉන්නකොට තමන් වෙනස් කෙනෙක් කියල පුංචි හිතට දැනෙන්නෙ නැහැ. එයාලගෙ පුංචි දෙපයින් ලෝකෙ හිටගන්න ඒ වගේ සෙල්ලම් බඩුවක් නොහිතන තරම් අත්වැලක් වෙනවා.


ඉතින් මේ අම්මා තමන්ගෙ දූගෙ ප්‍රශ්නෙ විසඳගත්තට පස්සෙ ඒ වැඩේ අත් හැරියෙ නැහැ. ලෝකෙ ඉන්න විවිධ වෙනස්කම් සහිත දරුවො වෙනුවෙන් එයාල වගේම එයාලට හරියටම ගැලපෙන දැනෙන බෝනික්කො හදන්න මේ අම්මා Bright Ears UK  කියලා ආයතනයක් පටන් ගත්තා. මේක ලාභ නොලබන ආයතනයක්. මුදලින් ලාභයක් නොලැබුවට ඒක ආදරයේ ලාභය නම් උපරිම ලබන ආයතනයක්.

විවිධ දරුවන්ගේ අවශ්‍යතා මත අතින්ම නිර්මාණය කෙරෙන මේ බෝනික්කො නිපදවන ආයතනය ආරම්භ කළේ 2017 වසරෙදි. මේ වෙද්දි බෝනික්කො 2000 ක් විතර හදල තියෙනවා කියලයි වාර්තා වෙන්නෙ. ඒ හැම එකක්ම ඉල්ලීම් මත ඒ ඒ අය වෙනුවෙන්ම හදල දීපුවා. ක්ලෙයාර්ගෙ බලාපොරොත්තුව මේ සුවිශේෂ බෝනික්කන් ඉදිරියෙදි කඩ සාප්පු වලත් දකින්න සලස්වන්න. මොකද එතකොට මේ පුංචි හිත් වලට තමන් වෙනස් කියල කොහොමවත් හිතෙන එකක් නෑ කියලයි ඇය කියන්නෙ.


අම්මා කෙනෙක්ට දරුවො වෙනුවෙන් අලුතින්ම ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන් කියන්නෙ ඒකයි. තමන්ගෙ දරුවා වෙනුවෙන් විතරක් නෙවෙයි හැම දරුවෙක් වෙනුවෙන්ම ඒ ලෝකය විවර කරන්න පුළුවන් හැබෑම මව්වත් අම්මලට විතරයි.

| ජයමාලි දිසානායක |