සංවිධානයකට නම ඔච්චරම වැදගත්ද ?

සංවිධානයකට නම ඔච්චරම වැදගත්ද ?

ලෝකයේ මිනිස්සු විවිධ ආකාරයේ සංවිධාන නිර්මාණය කරති. ඒ ඒ සංවිධාන, තම අරමුණු හා පරමාර්ථ පෙරදැරි කරගෙන තම සංවිධානවලට නම් දා ගනිති. ඒ නම් ඒවාටම අනන්‍ය වේ. සංවිධාන ලොකු වුණත් පොඩි වුණත් හැම සංවිධානයටම තමන්ගේ නම වටියි.

ඒ නිසාම සමාජ දේශපාලන වැඩවලට සම්බන්ධ සංවිධාන තමන්ගේ නම ගැන සෑහෙන අවධානයක් දෙයි. ඊට අදාලව, ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ නාමය අත්පත් කරගැනීමට ගත් වෑයම් කීපයක් විමසා බැලීම වැදගත්ය.

ජනතා විමුක්ති පෙරමුණ බිහි වූ දා සිට එම නම ගැනීමට බොහෝ අය උත්සාහ කර ඇත. 71 අරගලයෙන් පසු නැවත දේශපාලනය කිරීමේදී පක්ෂයේ නම රැක ගැනීමට විශේෂ අරගලයක් කිරීමට සිදු විය. ජවිපෙ සිටි අය මේ ඉතිහාසය දනියි.

ජවිපෙ නම ගන්නට දැරූ වෑයම්

ජවිපෙ නව ප්‍රවණතාව, නව ජවිපෙ ආදී අනන්‍යතා ඔස්සේ ජවිපෙ නම වක්‍රව අත්පත් කරගැනීමට විවිධ පිරිස් වෑයම් කළද එම උත්සාහයන් සාර්ථක නොවීය. පක්ෂය තහනම් වීමට පෙරද, ඉන් පසුවද එවැනි උත්සාහයන් ගනු ලැබීය.

88-89 මර්දනයෙන් පසු ජවිපෙ නිහඬතාවක ගිලී ගියේය. එකල චම්පික රණවකලා `ජනතා මිතුරෝ` හදාගෙන ඉව ඇල්ලුවේ ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍යතා උරුමය ගන්නටය. එයද අසාර්ථක විය.

93දී වාසුදේව නානායක්කරලා ජනතා විමුක්ති සංවිධානය හෙවත් ජවිසං යනුවෙන් කිට්ටුවෙන්ම යන නමක් හදාගත්තත් ජනතා විමුක්ති පෙරමුණ සිය නාමය ඔවුන්ට අත්පත් කරගැනීමට ඉඩ නොදී රැකගත්තේය.

1993 ඔක්තෝබර් 10 වැනිදා හිරු පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකදී විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) වාසුදේව නානායක්කාරගෙන් ඇසූ ප්‍රශ්නයක්

 

ජනතා විමුක්ති සංවිධානය හා ජවිපෙ නම අත්පත් කරගැනීමේ උත්සාහයන් පිළිබඳව 1993 දෙසැම්බර් 12 හිරු පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) ඇසූ ප්‍රශ්නයකට ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ සභාපති ආරිය බුලේගොඩ දුන් පිළිතුරෙන් කොටසක්.


ඊටත් පසුකලෙක, කමල් කරුණාදාස නමැත්තෙක් ජන විමුක්ති සහයෝගිතා පෙරමුණ හෙවත් ජවිසපෙ යනුවෙන් ජවිපෙ නම කොපිකර පක්ෂයක් හදාගත්තද ජවිපෙ බවට පත්වන්නට ඔවුන්ටද බැරි විය.

හැබැයි ඒ කවුරුවත් ඇලපිල්ලක් පාපිල්ලක් හෝ වෙනස් කර, එහෙමත් නැත්නම් වෙනත් වචනයක් මැද්දට ඔබ්බවා නමක් හදාගත්තා මිස, `ජනතා විමුක්ති පෙරමුණ` තිබියදී `ජනතා විමුක්ති පෙරමුණ` නමින්ම වෙනත් සංවිධානයක් හැදුවේ නැත. එයින් පෙනී යන්නේ පසමිතුරුභාවයේ කෙළවරදී පවා රැකිය යුතු `ආචාර ධර්ම` ඇති බවය.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ, ජවිපෙ නම රැකගැනීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට විදේශයන්හි සිට පවා අඛණ්ඩව ලිපි ලියමින් කළ අරගලයෙන් පැහැදිලි වන්නේ, සමාජ සංවිධානයකට නමේ ඇති වැදගත්කමයි.

1994 ඔක්තෝබර් 09 හිරු පුවත්පතේ පුවතක්

සංවිධානයක් නිහඬ වූ විට නම අත්පත් කරගන්නට පුළුවන්ද ?


සංවිධානයක් නිහඬ වූවා කියා නම වෙනත් පිරිසක් අත්පත් කරගැනීම සදාචාරාත්මක නැත. 89න් පසු කාලයේ ජවිපෙ නිහඬය කියා වෙනත් පිරිසක් ඒ නම ගත්තේ නම්, එය ජවිපෙට වන අසාධාරණයකි. හෙට දවසේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම ඉරණම අත්වුවහොත් නිහඬතාව බිඳ ආපසු එන තෙක් ඔවුන්ගේ නාමය ඔවුන් සතුවිය යුතු මිස අන්සතු විය යුතු නැත.

අනෙක් අතට සංවිධානයක හඬ යනු ඉතිහාසයේ ඔවුන් නියෝජනය කරන හඬ මිස, එදිනෙදා මාධ්‍යවල කෙරෙන හඬම නොවේ. උදාහරණ කීපයක් ගෙන බලමු.

`සූරියමල් ව්‍යාපාරය` යනු ලංකාවේ වමෙන් නිර්මාණය වූ ජනහිතකාමී ව්‍යාපාරයකි. එහි හඬ යනු ඒ යුගයේ ඔවුන් නැංවූ හඬයි. එය තිබුණේ දශක කීපයකට කලින්ය කියා, එහි නායක නායිකාවන් මිය පරලොව ගොස් ඇතය කියා සූරියමල් ව්‍යාපාරය` යනුවෙන් එකක් වෙන කාට හෝ හැදිය හැකිද ?

තවත් උදාහරණයක් ගනිමු. x කණ්ඩායම යනු ලංකාවේ දේශපාලනයට විශාල වැඩකොටසක් කළ සංවිධානයකි. එහි හඬ යනු ඒ යුගයේ පමණක් නොව අදට පවා ඇතැම්විට වලංගු ඔවුන්ගේ කාර්යභාරයයි. මේ මොහොතේ x කණ්ඩායම කියා එකක් නැතැයි කියා කාට හෝ x කණ්ඩායමක් හැදිය හැකිද ?

එහෙයින් දේශපාලන සදාචාරය දන්නා උදවියට, ``ඇක්ටිව් නැති නිසා අපි ඒ නම ගත්තා``වැනි දේවල් කියන්නට නොහැකිය.


සංවිධානයක නමක් කියන්නේ වචන විතරද ?


සංවිධානයක නමක් කියන්නේ වචන විතරක් නොවේ. සංඥාර්ථ පද්ධතියක කේන්ද්‍රයකි. සාමුහික ශ්‍රමයක අනන්‍යතා ලකුණකි.

ජනයාත් ඉන්නවා නම්, අරගලයත් කළයුතුයි නම් ඒ සඳහා ව්‍යාපාරයකුත් උවමනාය කියා, `ජන අරගල ව්‍යාපාරය` කියා එකක් ලංකාවේ ආයෙත් හදන්න බැරිය. මක්නිසාද යත් ජන අරගල ව්‍යාපාරය යනු පෙසප මූලික රූපයයි. ඒ නම යමෙක් සොරකම් කළොත් එය සදාචාර විරෝධී වැඩකි.

එහෙයින් ``වචන අයිති භාෂාවටය`` කියා නම් සොරකම් කිරීම සමාජ ක්‍රියාකාරිකයන්ට නොගැලපේ.

ලක්දිව' පුවත්පතේ කර්තෘ මණ්ඩලය ඉන් ඉවත්ව 'සත්‍යයේ හඬ' නමින් නව පුවත්පතක් එළිදැක්වීමට සැරසෙන විට 'ලක්දිව' පාලනාධිකාරිය විසින්  'සත්‍යයේ හඬ' නමින්ම වෙනත් පුවත්පතක් ඉක්මනින් වෙළඳපොලට නිකුත් කරනු ලැබීය. එහෙයින් නව පුවත්පතේ නම ලෙස 'හිරු' තෝරාගත් බව, එම ක්‍රියාව පිළිබඳව පැහැදිලි කරමින් 1993 සැප්තැම්බර් 26 'හිරු' මංගල කලාපයේ ලියැවුණු සටහනක කොටසකි මේ

 

අරමුණ හොඳ වීමෙන් අනන්‍යතා සොරකම් සාධාරණීකරණය කළ හැකිද ?

``අප මෙය කරන්නේ හොඳ වැඩකටය`` කියා වෙනත් සංවිධානයක නමක් ගැනීමද බොළඳ වැඩකි.  එවැනි වැඩ ගමක මරණාධාර සමිතියක් හෝ ක්‍රීඩා සමිතියක්වත් කරන්නේ නැත. දිලෙනතරු ක්‍රීඩා සමාජය වොලිබෝල් තරගාවලියක් පැවැත්වුවහොත්, වොලිබෝල් ගැසීමෙන් සමාජයට හානියක් නොවේ කියා `දිලෙන තරු` නාමය සොරකම් කරන්නේ නැත. අඩුම තරමේ `ජොලි බෝයිස්` කියා හෝ නම දා ගනියි.

නම් සොරකම් කිරීමෙන් පෙනෙන්නේ නිර්මාණාත්මක දිළිඳු භාවයයි. සොරකම් කළ නම් අත්නොහැරීමෙන් පෙනෙන්නේ දේශපාලන උද්දච්ඡ භාවයයි.
නමක් වෙනුවෙන් සංවිධානයක් අරගල කරන්නේ, සෙල්ලමට හෝ විනෝදාංශයක් ලෙස නොව තම සංවිධානයට ශ්‍රමය දුන් මිනිසුන්ගේ සමාජ දේශපාලන ගෞරවය රැකීම පිණිසයි.

අවසන් වශයෙන් කිවයුත්තේ මුළින් කී දේමය. ලෝකයේ මිනිස්සු විවිධ ආකාරයේ සංවිධාන නිර්මාණය කරති. ඒ ඒ සංවිධාන, තම අරමුණු හා පරමාර්ථ පෙරදැරි කරගෙන තම සංවිධානවලට නම් දා ගනිති. ඒ නම් ඒවාටම අනන්‍ය වේ. සංවිධාන ලොකු වුණත් පොඩි වුණත් හැම සංවිධානයටම තමන්ගේ නම වටියි.


| පැතුම් පෙරේරා |