ඇෆ්ගන් ටර්නාඩෝවේ ස්ත්‍රී දෝංකාරය

ඇෆ්ගන් ටර්නාඩෝවේ ස්ත්‍රී දෝංකාරය

ෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සමග වඩාත් බිය වන්නේ කාන්තාවන්. ඒ දශක දෙකකට පෙර පැවති තලේබාන් යුගයේ අඳුරු නිදර්ශන නිසා. එය කාන්තාවන්ට ඉගෙනීම, රැකියා, කලාව යනාදී සියල්ල පමණක් නොව නිවසින් පිටතට පැමිණීමට පවා වැට කොටු බැඳ තිබූ අඳුරු යුගයක්.

නැවතත් එවන් යුගයක කළු වළාකළු කාබුල් අහසට උඩින් සරද්දී තම රට තුළ සිදුවන දේ දිගින් දිගටම ලොවට කියන්නටත්, අහිමි වන්නට යන නිදහස ගැන හඬ නගන්නටත් ඇෆ්ගන් කාන්තාවන් පෙරමුණ ගෙන තිබෙනවා.

අනීසා ශහීඩ් - මාධ්‍යවේදිනියක් !


දේශපාලන වාර්තාකාරිනියක් ලෙස මාධ්‍ය සේවයට එක් වූ අනීසා පසුව එරට ' Tolonews ' රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානියා බවට පත් වුණා.
එසේම ඇය මේ වසරේ අප්‍රේල් මාසයේදී " වසරේ මාධ්‍යවේදිනිය " ලෙස සම්මානයටද පාත්‍ර වුණා. ඒ Free Speech Hub මගින් පැවැත්වූ සම්මාන උළෙලේදී. මාධ්‍යවේදීන්ට දැඩි අවදානමක් සහිත එරට යුද වාතාවරණය හමුවේ, යුද බිමට ගොස් නැවත වාර්තාකරණයේ යෙදෙමින් එරට තතු ලොවට කීමට ඇය තීරණය කළා. මාධ්‍යවේදිනියක් නිසාත්, කාන්තාවක් නිසාත් දෙගුණයකින් ජීවිත ඇති ජීවිත අවදානම නොතකමින් තලේබාන් වරුන් ජයග්‍රහණය අභිමුව සිටිද්දීත් ඇය පැවසුවේ මෙයයි.

" ඇෆ්ගනිස්තානය ගැන ඇත්ත ලෝකයට පැවසීම අත් හරින්නට බැහැ ! "

මේ තව දුරටත් ඇසෙන්නේ ඇගේ හඬ.

" මං හිතන්නේ මං මේ කරන්නෙ මං කැමති දේ, මොකද, මගේ රටේ කතා කිරීමේ නිදහස වෙනුවෙන් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් මට පෙනී සිටින්න ඕනෙ, මං හිතනවා මං මේ කරන දේවල් වලින් ධනාත්මක බලපෑමක් වෙයි කියලා. "

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීමෙන් පසුවත් දිගින් දිගටම අනීසා ශහීඩ් සිය Twitter ගිණුම මගින් ලොවට  තොරතුරු වාර්තා කළා.


සහ්රා කරිමි - සිනමාකාරිණියක් !

 

සහ්රා මීට දින කිහිපයකට පෙර ගෝලීය සිනමාකරුවන් වෙත " ලෝකය අපට පිටු පාන්නට එපා ! " යනුවෙන් හද පාරවන විවෘත ලිපියක් ලියා තිබුණා.

තලේබාන් සටන්කාමීන් ගෙන් සිය රටත් එහි සුන්දර මිනිසුනුත්, සිනමා කරුවනුත් රැක ගැනීමට සහය වන මෙන් ඇය ආයාචනාත්මකව ලියා තිබුණේ මෙලෙසින්.

" මගේ ලස්සන රට තලේබාන්වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබ එක් වෙතැයි දැඩි අපේක්ෂාවෙන් යුතුව බිඳුනු හදවතින් ලියමි...

අනාථ කඳවුරු තුළ දරුවන් කිරි කඳුලක් නොමැතිව මියැදෙමින් සිටිනවා. මේක මනුෂ්‍යත්වයේ අර්බුදයක්, ඒත් තාම ලෝකය නිහඬයි. අපි ඒ නිහඬතාවය දරා ගත්තත් අපි දන්නවා ඒක අසාධාරණයි කියලා. අපේ මිනිසුන්ව අත් ඇරලා දාන්න ගත්ත තීරණය වැරදියි කියල අපි දන්නවා. අපට ඔබේ හඬ අවශ්‍ය කරනවා. සිනමාකාරිණියක් විදියට මං ගොඩක් මහන්සියෙන් කරපු හැමදේම බිඳිලා විසිරිලා වගේ දැනෙනවා. තලේබාන්වරු බලය අල්ල ගත්තොත් ඔවුන් සියළු කලාව තහනම් කරයි. මමත් අනිත් සිනමාකරුවනුත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය බවට පත්වෙයි. ඔවුන් අපේ සියළු අයිතීන් උදුරා ගත්තත් අපට නිහඬව ඉන්න වෙයි "

මෙම ලිපිය සහ්රාගේ Twitter ගිණුම හරහා ලෝකය වෙත මුදා හැර තිබුණා.

ශම්සියා හස්සානි - චිත්‍ර ශිල්පිනියක් !

 


ශම්සියා සිය වීදි සිතුවම් තුළින් අධිපති පිරිමි සමාජයක කාන්නාවගේ ඉරණම සිතුවමට නගමින් තලේබාන් පාලනය සමග සිය රටේ කාන්තාවන්ට අත් වීමට යන ඉරණම පිළිබඳ ලෝකයේ අවධානය යොමු කිරීමට සමත්ව තිබෙනවා. ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා විශාල පිරිසක් නරඹා ඇති එම සිතුවම් මේ වන විට  ලොව පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

ඇෆ්ගනිස්තානයේ මුල්ම වීදි චිත්‍ර ශිල්පිණියන්ගෙන් කෙනෙක් වන ඇය මෙලෙස ප්‍රකාශ කරනවා.

" කලාව මිනිසුන්ගේ හදවත් වෙනස් කරනවා, මිනිසුන් ලෝකය වෙනස් කරනවා."

අගේ රටේ සාමය ගැන ශම්සියා හස්සානිගේ අපේක්ෂාව මෙහෙමයි.

" අපි සාමය ගොඩනගමු. මට මගේ රට, මගේ ගෙදර ආපසු ඕන. මගේ මිනිසුන්ට සාමය සහ නිදහස ඕන."

ඇෆ්ගන් සමාජ ක්‍රියාකාරිනියන් එරට දේශපාලන වෙනස්කම් ගැන එසේ කනස්සලු වන විට, කාන්තා නිදහස සහ අයිතීන් පිළිබඳව මේ වන විට සිය සංවිධානයේ මතය වෙනස් බවත්, දශක දෙකකට පෙර ඇසින් තමන් දෙස නොබලන ලෙසත් තලේබාන් සංවිධානයේ නියෝජිතයෙක් එරට Tolonews නාලිකාවේ නිවේදිකාවක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. එපමණක් නොව සිය නව රජයේ කටයුතු වලට එක්වන මෙන් එම සංවිධානය කාන්තාවන්ට යෝජනා කර තිබීමද විශේෂත්වයක්. මෙම ප්‍රකාශ කෙතරම් අවංකද යන්න අනාගතයේදී දැකගත හැකිවනු ඇති.


එක්සත් ජාතීන්ගේ සංවිධානයද තලේබාන් සංවිධානයෙන් ඉල්ලා තිබෙන්නේ  ඔවුන් මේ වන විට ලබා දී ඇති පොරොන්දු රකිමින් පසුගිය රජයේ සේවකයින්ගේ ආරක්ෂාව සුරකින ලෙස සහ ගැහැණු දරුවන්ට පාසැල් යාමට ඉඩ ලබා දෙන ලෙසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයෙක් පසුගියදා ජිනීවා නුවරදී වාර්තාකරුවන්ට මෙලෙස ප්‍රකාශ කළා.

``තලේබාන් සංවිධානය වචනයෙන් පොරොන්දු ගණාවක් දෙමින් ප්‍රකාශ නිකුත් කරල තියෙනවා. නමුත් ඔවුන්ගේ ක්‍රියාවෙන් වචන වලට වඩා දේවල් පේනවා, මොකද්ද වෙන්නෙ කියල කියන්න තවම කල් වැඩියි.``

ඈතින් හමන කාබුල් සුළඟ දෙස බලාගෙන සිටීම හැර මේ දූපතේ සිට කළ හැකි දෙයක් නැහැ. ඒත්, සමාජයක් නොපැවතිය යුත්තේ කෙසේදැයි ලොව කොහේ හෝ රටක් පෙන්වනවානම්, ඒ දර්ශනයෙන් පාඩම් ඉගෙන ගන්න අපට බාධාවක් නැහැ.

| මාලිකා ජයනායක |