එම්බා වානරය, පරිණාමය නොවනු!

එම්බා වානරය, පරිණාමය නොවනු!

රට යන අත ගැන, හිත හිත ඉන්නකොට හිතුණ දේ තමයි, ඇත්තටම මේක ගැන හිතන්නවත් දෙයක් ඉතුරු වෙලා නෑ කියන එක.  මේක අස්සෙම ලැගල නොහඬා ඉන්න මිනිහෙකුට මාර ගටක් තියෙන්න ඕනෙ කියලා නම් හිතෙනවා මේ වෙන දේවල් දැක්කම.

මේක ලක් දෙරණ කිව්වට, ඒ ලක් එක තියෙන්නෙ කොහෙද කියල කල්පනා වෙනවා.  සිරි ලංකා කිව්වට, ඒ සිරිය තියෙන්නෙ කොහෙද හිතෙනවා. 'ශ්‍රී ලංකා මාතා ' කිව්වම , අම්මලට පුළුවන් ද ළමයින්ව මෙහෙම මැරෙන්න අරින්න කියල හිතෙනවා.  කොහොමත්   මැරීම, සැමරීමක් කරගන්න එක මේ රටට අභූත අමුතු දෙයක් නෙවෙයිනෙ.

නැව් ටෝක් දෙන තොටියොයි, තොටි ටෝක් දෙන නැවියොයි  හබල් සුක්කානං කරකෝන මේ රට දියබත් නොවී තාම අල්ලන් ඉන්නෙ මේ පොළවෙම තියෙන හයියට .   නැව් ටෝක් කාරයන්ගෙ අප්‍රතිහත  ධෛර්යය නිසා කියල තාමත් හිතෙනවානම් ඇන්ටිජන් එකක් චෙක් කරගන්න. ශුවර් එකටම ඒක පොසිටිව් වෙනවා. මොකද ඒ අය ඔබට කරපු එකම පොසිටිව් වැඩේ
තමා ඒක.

ඒ අල්ලපනල්ලෙ හාල්මැස්සටත් තල්මහෙක්ගෙ තරමට බදු ගැහුවා නේද?

මෙහෙම ජන කතාවක් ඔබ අහල තියෙන පුළුවන් . වඳුරො දෙන්නෙක් කැවුමක් බෙදාගන්න බැරුව වලි කනවා. එතනට එනවා පූසෙක්. ඌ කියනවා, ඔය කැවුම මට දීපං. මං සම සමව බෙදල දෙන්නංය කියල . ඔන්න පූසා කැවුම දෙකට මැදින් කඩනවා. හොඳට බලනවා කෑලි දෙක දිහා. ' ආ මේ කෑල්ල ටිකක් ලොකුයි. සම වෙන්නනං මේකෙන් කෑල්ලක් කන්නෝනෙ. ' එහෙම කියල පූසා එක කෑල්ලකින් කොටසක් කනවා. ඌ ආයෙම මෙහෙම කියනවා. ' මාර වැඩේ දැන් මේ කෑල්ල පොඩි වුණානෙ. ඉඳහං එහෙනම් අර කෑල්ලෙනුත් ඒ ගානම කමු ' කියල .මොකක් හරි කරලා පූසා කැවුම බෙදලා දෙනකං  වඳුරු දෙන්නා දෙපැත්තට වෙලා කට බලියගෙන ඔහේ බලං ඉන්නවා. පූසා වැඩේ අතාරින්නවද? නෑ. කොහෙත්ම නෑ. අර අඩුවම කිය කිය කැවුම් කෑල්ල සම කර කර අන්තිමේ මුළු කැවුමම සාගත මල්ලට ඔබා ගන්නවා.

රටේ මිනිස්සු  බැලන්ස් කරන්න කියලා, රට ඇරියා. බැලන්ස් වුණාද?  ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා  තමා කොරෝනා නැවතුණේ.  හිටිගමන් ඇමතිවරු වැඩම්මෙව්වා.   ඒත් බැලන්ස් නෑ. ගැහුවා බදු. එතකොට  බැලන්ස් ද? මේ බදු ගැහීම් කරන්නෙ හිඟන්නගෙ පාත්තරේ දිහා බලාගෙනද රොකට් මල්ලිලගෙ පොකට් එක දිහා බලාගෙනද දන්නෙ නෑ, ඒත් ලුණුයි බතුයි ඇත්තටම කන මිනිස්සුත් මේ රටේ ඉන්නවා.

තනි පූසෙක් කැවුමක්  බැලන්ස් කරල  වඳුරො අතට දෙයි කියල  තවමත් විශ්වාස කරනවා නම්  වඳුරාට පරිණාමය  වීමට ඉඩ නොතැබිය යුතුයි කියල මම යෝජනා කරනවා.

| සාවින්ද ලියනාරච්චි |