ඇෆ්ගනිස්තාන සගයාගේ සිහිනය

ඇෆ්ගනිස්තාන සගයාගේ සිහිනය

මාත් එක්ක අවුරැදු දෙකක් එක කාමරය බෙදා ගත්තෙ ඇෆ්ගන් ජාතික තරැණයෙක්.ඔහුගෙ නම ,ෆේස්බුක් අයි ඩී එක මෙතන ලියන්න ,මෙන්ෂන් කරන්න පුලුවන් වුණත් ඒක නොකරන්නෙ ඔහුගෙම ආරක්ෂාවට.ඒ, මෙි ලියන සටහනක් වුණත් ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක හරහා කියවගෙන ඔහුට අහිතකර දෙයක් වෙන්න පුලුවන් පුංචි හෝ ඉඩක් තියන නිසා.

 
මගේ මිත්‍රයා, ඇෆ්ගනිස්තානයේ පෂ්තුන්වරයෙක්. පෂ්තුන්වරැ එහෙමත් නැත්තම් පතන්වරැ තමා ඇෆ්ගනිස්තානයේ බහුතර ප්‍රජාව.තලේබාන් සංවිධානයෙත් කොදුනාරටිය පෂ්තුන්වරැන්. දැන් දැන් ටජික්,උස්බෙක් ජනවර්ගවලට අයත් ඇෆ්ගානුවොත් තලේබාන්ලට බැදිල ඉන්නව.ඒත් බහුතරය සහ තීරණාත්මක භුමිකාව ඉටුකරන්නෙ පෂ්තුන්වරැන්.ඇෆ්ගනිස්තානයේ හසාරා ප්‍රජාව,ඒ කියන්නෙ ෂියාවරැන් වෙනමම පිරිසක්. සෙසු මුස්ලිම්වරුන් අතරෙත්, තලේබාන්වරැන් අතරෙත් ෂියාවරැන් සළකන්නෙ සම්පූර්ණයෙන්ම බාහිර පිරිසක් විදිහට.
 
මගේ මිත්‍රයා පෂ්තුන්වරයෙක් වුණත් ඔහු දැඩි තලේබාන් විරෝධියෙක්.ඔහුට ඕන වුණේ ඇෆ්ගනිස්තානුවන්ගේ ඇෆ්ගනිස්තානයක් දකින්න. පකිස්තානයේ න්‍යාය පත්‍රයට අනුගත වුණු අන්තවාදී තලේබාන්ලට වගේම ඇමරිකාව ඇතුළු නේටෝ හමුදාවලිනුත් තොර ඇෆ්ගනිස්තානයක් තමා ඔහුගේ සිහිනය වු⁣ණේ. ඒ වෙනුවෙන් ඔහු තමන්ගේ දැනුමෙන්,සබදතාවලින් බොහෝ දේ කළා.
 
දවසක්,මාත් එක්ක කයියක් ගහන් ඉන්න වෙලාවක ඔහු කිව්ව දෙයකින්,මම එතෙක් ඇෆ්ගනිස්තානය ගැන හිතා හිටපු චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස්වුණා.පකිස්තාන හමුදාවෙ උදව් ගන්න තලේබාන්ලයි,බටහිර හමුදායි  පරම සතුරො කියල ඔයාල හිතන් හිටියට ඒක එහෙම නෑ..ඒ ඉස්සර.දැන් ඒ සේරම වෙනස්. ප්‍රාදේශීය තලේබාන් නායකයොයි, බටහිර හමුදාවල අයයි හරිම එකතුයි.සේරම ජාවාරම් වෙන්නෙ  දැනුවත්ව.
 
තලේබාන්ලගෙ ප්‍රධාන ආදායම් මාර්ගය හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම.ඒ ජාවාරමෙන් එන සල්ලි දැක්කොත් ඔයා පුදුම වෙයි. ඉන්න මම පෙන්වන්නම්, එහෙම කියපු ඔහු මට ඇෆ්ගනිස්තාන බලධාරීන් තලේබාන් සංවිධානය සතුව තිබී අත්අඩංගුවට ගත් ඩොලර් තොගයක වීඩියෝවක් පෙන්නුව.මේ සටහන සමග අමුණල තියන්නෙ ඒ වීඩියෝවෙන් ගත්ත ඡායාරූප කිහිපයක්. හිතාගන්නවත් පුලුවන්ද?ලංකාවෙ ,අපේ ණයෙන් ලොකු කොටසක් ගෙවන්න පුලුවන් තරම් විශාල ඩොලර් තොගයක්, ඇෆ්ගනිස්තානයේ දුෂ්කර ප්‍රදේශයකට මෙහෙම රැගෙන ඒම පිටිපස්සෙම කතා ගොඩක් තියන බව පැහැදිලියිනෙ.
 
වීඩියෝව පෙන්නල , මිත්‍රය කියපු දේවලට අනුව ඒ වෙනකොට, ⁣තලේබාන්ල, බටහිර හමුදා සේරම  එකම චක්‍රයක කොටස්.සමහර ඇෆ්ගනිස්තාන බලධාරීන්ට මේ තත්වය වෙනස් කරන්න ඕන වුණත් ඒකට ඉඩක් තිබුණෙ නෑ.බල තෙරපුම් දෙකකට මැදිවුණු ඇෆ්ගනිස්තාන රජය ඒ වෙනකොටත් හිටියෙ කරකියාගන්න දෙයක් නැතුව.
 
මේ කතාබහ සිද්ධවෙලා අවුරැදු දෙකක් යනකොට සිදුවෙලා තියන දේ බලද්දි මිත්‍රයගෙ කියවීම කොතරම් දුරට නිවැරදි ද කියල හිතෙනව.සංඛ්‍යාවෙන් කුඩා තලේබාන්වරැන්ට ඇෆ්ගනිස්තානයේ බලය නිදහසේ අත්පත්කරගන්න ඇරල  ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා හිමින් පල්ලම් බහිනව.ඇෆ්ගනිස්තානයෙ රජයක්,ආණ්ඩුව වක්, නිර්මාණය කරපු ඇමරිකාව ඇතුළු රටවල් තමන්ම නිර්මාණය කරපු බල ව්‍යහුයන්ට කිසිම සහයක් නොදී පැත්තකට වෙලා අත පිහදා ගන්නව.මේ සියල්ල  පිටුපස්සෙ තියන කතාව,සැලසුම් හරියටම දැනගන්න අපට තව ටික දවසක් ඉන්න වෙයි. 
 
කොහොමවුනත් ,මේ සියල්ල ඇතුළෙ බිද වැටුණෙ, ඇෆ්ගනිස්තානුවන්ගේම ඇෆ්ගනිස්තානයක් පිළිබද මගේ මිත්‍රය සහ ඔහු වැනි තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැකපු සිහිනය.හැබැයි, ඇෆ්ගනිස්තානය කියන්නේ අමුතුම රටක්. එදා යටත් විජිත යුගයේදී ,බ්‍රිතාන්‍යයන්ටත් සම්පූර්ණයෙන්ම යටත් කරගන්න බැරිවුණ ඇෆ්ගනිස්තානයේ කතාව හෙට වෙද්දි සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුලුවන්.
 
| විරංජන හේරත් |
( Face book පිටුවෙන් උපුටා ගන්නා ලදි )