වමත්කාරයන්ගේ චමත්කාරය

වමත්කාරයන්ගේ චමත්කාරය

අද ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය. සාමාන්‍යයෙන් එහෙම එක එක අය සහ දේවල් වෙනුවෙන් දින වෙන් කරන එක ගැනත්, ඒ දිනවල සිද්ධ වෙන බොහොමයක් දේවල් ගැනත් නොයෙක් ප්‍රශ්නාර්ථ තිබුණත්, මමත් වමත්කරුවෙක් නිසා අද වමත්කරුවන්ගේ දිනය කියල දැනගත්තම ඒක පොඩ්ඩක් දැනුණා.

සාමාන්‍යයෙන් ලෝකෙ බහුතරයක් ඉන්නෙ දකුණත හුරු අය. 90% විතර එහෙමයි කියලයි කියන්නෙ. සුරත හෙවත් සුරු අත කිව්වම ගොඩක් අයට දකුණත මතක් වෙන්නෙ ඒකයි. වමත හුරු අය ඉන්නෙ සුළුතරයයි. ඒක නිසා තමයි වමත්කරුවො සුවිශේෂී වෙන්නෙ. සුවිශේෂී කියල කිව්වෙ වමතින් ලියන අය තමයි මාර බුද්ධිමත්, එයාල තමයි වැඩ්ඩෝ වගේ පදනමකින් නෙවෙයි. එහෙම එකක් නෑ. නමුත් සාමාන්‍ය බහුතරයකින් වෙනස් මොකක්ම හරි දෙයක් දැක්කම අපිට ඒක විශේෂයි කියල හිතෙනවනෙ. මම ලියනවා දැකල 'ආ, ඔයා වමත් නේද?' කියල කට්ටිය අහපු අවස්ථා බොහොමයක් තියෙනව. හැබැයි දකුණතින් ලියන කෙනෙකුගෙන් 'ඔයා දකුණත් නේද?' කියල සාමාන්‍යයෙන් අහන්නෙ නෑනෙ. ඔන්න ඕක තමයි විශේෂත්වය. බහුතර - සුළුතර වෙනස.

විද්‍යාත්මකව ගත්තොත් මොළේ දකුණු අර්ධයෙන් ශරීරයෙ වම් පැත්ත පාලනය කරනව. මොළේ වම් අර්ධයෙන් ශරීරයෙ දකුණු පැත්ත පාලනය කරනව. මොළේ වම් අර්ධය ගණිතය, තර්කනය, විශ්ලේෂණය පැත්තට නැඹුරු බවත්, දකුණු අර්ධය නිර්මාණශීලී පැත්තට නැඹුරු බවත් තමයි කියැවෙන්නෙ. කොහොම වුණත් මේ දෙපාර්ශවයම සමබරව තියාගෙන ඉන්න අය වගේම එහෙම නැති අයත් අපිට එදිනෙදා සමාජයෙදි මුණ ගැහෙනව.

දේශපාලන ලෝකෙ දක්ෂිණාංශික - වාමාංශික බෙදීමත් අර බහුතර - සුළුතර ප්‍රකාශනයෙම දිගුවක් වෙන්න බැරිද? ලෝකෙ රටවල් සහ මිනිස්සු බහුතරයක් දක්ෂිණාංශිකයි. වාමාංශික රටවල් සහ මිනිස්සු සුළුතරයයි. ඒ අතරිනුත් අපේ වගේ රටවල - ඇත්තටම ගොඩක් රටවල - ඇත්තම වාමාංශිකයො ඉන්නෙ වමත්කාරයන්ටත් වඩා ගොඩක් අඩුවෙන්. කොටින්ම ගොඩක් අයට උතුර - දකුණ වගේම වම - දකුණත් මාරු වෙලා.

දේශපාලනයෙදි අපි කතා කරන වම - දකුණ, වමතින් හෝ දකුණතින් ලියනවා වගේ සරල දෙයක් නෙවෙයි. ඒක සංකීර්ණ විසංවාදයක්. මේ බරපතල කොවිඩ් නිමේෂය ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කළොත් වමට ගොඩක් දේවල් තේරුම් ගන්න වගේම කරන්නත් පුළුවන්. මොළේ වම් අර්ධයයි, දකුණු අර්ධයයි දෙකම එකවිට හරියට පාවිච්චි කරල වැඩක් කරනව නම් මේක තමයි වෙලාව. නමුත් වම ඒකට සූදානම්ද? අපි බලමු. සමහර වමත්කාරයො තාමත් අපේක්ෂා සහගතව ඒ දිහා බලාගෙන ඉන්නව.

 

| කසුන් සමරතුංග |