ගුරුකම් සහ ගුරුකං !

ගුරුකම් සහ ගුරුකං !

ඉතාම සරලව මේ මාතෘකාව මෙහෙම තේරුම් ගන්න පුළුවන් . ඔබට හැකියාව තියෙනවා ගුරුකම් වෙනුවට 'ගුරුවරයා' ලෙසත් ගුරුකං වෙනුවට ' කට්ටඬියා' ලෙසත් පොඩි වචන හුවමාරුවක් කරගන්න. ගුරුකමේ වටිනාකම , ගුරු භක්තිය, ගුරු භූමිකාව ගැන හරි හරියට හරි හරි කතා කියවෙනවා මේ දවසවල හරියට පේනවා. ඒ වගේම ඇහෙනවා.

" ගුරුවරු කියන්නෙ දෙවිවරු. වැන්දත් මදි ඒ මනුස්ස දෙවියන්ට."

"ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොඳවා" අන්න එහෙමයි හැදෙන ළමයි ඉන්නෝනෙ.

ඉතිං අපි මේ විදියට තමා ඉතිහාසෙ පුරාම ගුරුවරුන්ට බටර් ගාලා සැනසුම් වදන් මුසු කළේ.  එදා එහෙම කලාට අදත් ඒකම කරන්නෝනෙද? ඔව් නැතුව. මුලින්ම පිදිය යුත්තන් පුදලා පැත්තකට කරලා තමා ඉතුරු ටික පටන් ගන්නෝනේ. ඒ නිසා 'ගුරුවර ගුරුකම්' කියන්නෙ  රස්සාවක් නෙවේ සේවයක් කියලා අපි ලෝකයාට කියලා දෙන්න ඕනෙ. දැන් බලන්න අපේ මීඩියා එක ඒ වැඩේ හරියටම කරනවා. ගුරුවරුන්ගෙ වටිනාකම ගැන කතා කරන්නෙ ගුරුවරුන්ව මහා අභිමානෙන්  මීඩියා ඉස්සරටත් ගෙනැල්ලා. ඒත්  කොරෝනා එක්ක ඒ මනුස්සයා වැඩ කරන්නෙ කොහොමද කියල බලන්න එක කැමරාවක් තියා ඇස් දෙකක්වත් නෑ. සාධාරණ ප්‍රශ්නෙකට ගුරුවරයෙක් කට ඇරියම කුදලගෙන යන්න නම් බුරුතු පිටින් වටකරනවා. ගුරුවරු කියන්නෙ දෙවිවරු තමා, හැබැයි දෙවිවරු වුණත් නටන්නෝනෙ කට්ටඬි කියන විදියට. ගුරුකමට වඩා ගුරුකං රටක ජීවනාලිය වෙන්නෙ එහෙම!

මේ රට කවදත් ගුරුකම්වලට වඩා ගුරුකං ගැන කතා කරපු රටක්. ගුරුකම්වලට වඩා ගුරුකං ගැන විශ්වාස කරපු සහ කරන රටක්. විජය කුවේණිගෙ ඉඳලම එහෙමයි. ඉතිං ඇයි අපි ගුරුකං  ගැන කතා නොකරන්නෙ? ඔය ගුරුකම් ටිකක් පැත්තකින් තියලා මේ රටේ වටිනාම වස්තුව වෙච්ච ගුරුකං ගැන අපි කතාකරමු. 'ගුරු' අරගලයක් එළියට ආපු වෙලේ වචනෙ ටිකක් එහෙ මෙහෙ කරලා අපිට ඕන දේ කතා කරන්න හොඳම වෙලාව මේක.  වෙන පැත්තකට පාර කපා ගන්නත් පුළුවන් .   ඔය ' කාලකණ්ණි' ගුරුවරුන්ට වඩා 'රත්තරං' කට්ටඬි ටික් වටින්නැද්ද ? රටටම එක ගුරුවරයෙක් උන්නම මදෑ, කට්ටඬිනෙ ඕනෙ. 

මෙච්චර කල් මේ රටේ  අස්සක මුල්ලක හැංගිලා හිටපු සිඟිති පේන කියන්නො එළියට එන්න ගත්තෙ , ඒ සැඟවුණු දක්ෂතා මතුකරලා ගත්තෙ  ගුරුවරුද? නෑ .  ගුරුවරයෙකුට පුළුවන් ද එච්චර හරියක් කරන්න.  මෙච්චර කල් මේ රටේ ගඟේ ගියේ කිරි මුට්ටිය විතරයි. ඒක වෙනස් කළේ කවුද ?

කට්ටඬියෙකුට පුළුවන් වුණා රටම හෙල්ලිලා ගිය වැඩක් කරන්න. කොච්චර හෙලවුණාද කිව්වොත් කැරකිලා කැරකිලා  රටට ඩෙල්ටා , ලැම්ඩා වගේ ආශිර්වාදත් දස දෙසින් ගලාගෙන ආවා. ඒවනෙ  ගුරුකං. මං කල්පනා කළේ , ඒ මුට්ටිය දැන් කොයි හරියෙද දන්නෑ. මං හිතන්නෙ සමහරවිට ගල් දෙබොක්කාවක හිර වෙලාද දන්නෙත් නෑ.  ඒක ද දන්නෑ  අපට මෙහෙව් විපත් වෙන්නෙ. අනේ අසරණ මුට්ටිය!

එතකොට ධම්මික . පැණිය බීලා ආරක්ෂා වුණු උදවිය. කෝ ඒ අය.   එතැනදි තමා ෆේල්. නාට්ටිය පෙන්නන්න වේදිකාව හදලත් දීලා වැඩේ ඉවරවුණාට පස්සෙ ඒ මිනිස්සු උන්නද මළාද බැලුවෙ නෑ.

ඕනම දේකට අතිවිශිෂ්ටයි කියන අනාගතයක් වෙනුවට නුවණක්කාර ගුරුකං ටිකක්  හිමි අනාගතයක් වෙනුවෙන් අපි කෙසේ මුහුණ දිය යුතුද?  රටින් යන එකට වඩා රටට යන කල වෙනුවෙන් කටින් කතා කළ යුතු කාලය එළඹ ඇත.

| සාවින්ද ලියනාරච්චි |