රට රකින්නට පන්සලේ පොඩි රණ්ඩුවක් බුදු හිමියනේ !

රට රකින්නට පන්සලේ පොඩි රණ්ඩුවක් බුදු හිමියනේ !

" ආනන්ද "

" ස්වාමිනි "

" වෙහෙසයි ආනන්ද "

 

**********

 

මහමැතිවරණය අගෝස්තු පස්වැනිදා පැවැත්විණි. සැනිටයිසර් වලින් අත් සෝදාගත් ඡන්දදායකයෝ තම තමන් පිරිසදු යයි සිතු ඒ ඒ දේශපාලන පක්ෂවලට කතිරය ගැසූහ. එම දේශපාලන පක්ෂ අතර අපේ ජනබල පක්ෂය නිමින් පක්ෂයක් ද විය. එහෙම නමක් මීට පෙර අසා හුරුපුරුදු නැති වුව ද, ඡන්ද කාලයට රංචු ගැසෙන කොලුරෑන් හිඟ නැත.

අතුරලියේ රතන සහ ගලගොඩඅත්තේ ඥානසාර යන භික්ෂුන් අපේ ජනබල පක්ෂයට නායකත්වය දෙන බව ඡන්දයට පෙර හෙළි විය. ඥානසාර භික්ෂුවගේ නම තිබූ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වූ බව පුවතකින් කියැවිණි. එහෙම තමයි, රට ජාතිය ශාසනය රකින්නට යන විට පොඩි පොඩි වැරදි සිදුවිය හැකි ය.

මැතිවරණ ප්‍රතිඵලය ආවේ ය. සාතිශය බහුතරයක් ජනයා, ආණ්ඩුව බදා වැලඳගෙන තබිණි. යුඇන්පීය කුජිත විය. මාලිමාවේ ඡන්ද වැඩි වී ආසන අඩු වී තිබිණි. අපේ ජනබල පක්ෂය හැටහත්දාස් හත්සිය පනස් අටක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් කිවේය. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් තෝරා යැවීමේ අවස්ථාව උදා විය.

ඒ සඳහා පූර්ව එකඟතාව තිබුණේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව තෝරා යැවීමට බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි. එම එකඟතාව තීරණයක් ලෙස
මැතිවරණ කොමිසමට දැන්වීම සඳහා පක්ෂයේ ලේකම්වරයා සොයන විට එම ධුරය හෙබවූ වේදිනිගම විමලතිස්ස භික්ෂුව අතුරුදන්ව තිබිණි. ඒ සමගම අපේ ජන බල පක්ෂය පුවත් මවන්නට විය.

මේ අතර එම පක්ෂයේ ලේකම් අතුරුදන්ව සිටින වේදිනිගම විමලතිස්ස භික්ෂුවගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් ලැබිණි. එයින් කියැවුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමන්ගේ ම නම තෝරාගෙන ඇති බවයි. එම ලිපිය ලැබීමත් සමඟ අපේ ජන බල පක්ෂයේ නායක තීරුවේ හිස ගිනිගත්තේය. ජනමාධ්‍ය ද ඒ වටා කෙල හලන්නට විය.

නාටකයේ ඊළඟ අංකය වූයේ මැතිවරණ කොමිසමට තවත් ලිපියක් ලැබීම ය. ඒ ලිපිය එවා තිබුණේ අපේ ජන බල පක්ෂයේ සභාපතිවරයා යයි කියා ගත් සමන් පෙරේරා නමැත්තෙකි. ඒ ලිපියේ තිබු තොරතුරු අනුව ඊලඟ කෑල්ල තවත් රසවත් බව තේරුම් ගත හැකි විය. ලිපියෙන් කියවුණේ අපේ ජන බල පක්ෂයේ හදිසි තනතුරු මාරුවක් සිදු කර ඇති බව ය.

මැතවරණ කොමිසම වේදිනිගම භික්ෂුවට පිළිතුරු ලිපියක් යැවී ය. එයින් කියැවුණේ සමන් පෙරේරා නැමැත්තෙක් ලිපියක් එවා ඇති බවත් ඒ ලිපිය අනුව අගොස්තු 7 වැනිදා වේදිනිගම විමලතිස්ස භික්ෂුව ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවත් නව ලේකම් ලෙස නිශාන්ත රත්නායක නමැත්තෙක් පත් කර ඇති බවත් එම නිශාන්ත රත්නායක අත්සන් කල ලිපියක් මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සමන් පෙරේරා නම් කර ඇති බවත් ය.

එකම මන්ත්‍රී ධුරයට දෙදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බැවින් අදාල නීතිමය තත්ත්වය අද්‍යනය කරන තුරු කිසිදු පුද්ගලයෙක් පත් නොකරන බව ද මැතිවරණ කොමිසම වේදිනිගම භික්ෂුවට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි. ඉන් අනතුරුව අතුරලියේ රතන භික්ෂුව විශේෂ හඬ පටයක් නිකුත් කරයි.
එම හඬපටය නිකුත් කරමින් රතන භික්ෂුව කියන්නේ ඔය කියන සමන් පෙරේරා නමැත්තා පාතාල නායකයෙක් බවයි.

ඥානසාරට හෝ තමන්ට ලැබුනු ඡන්දයක් නොමැති බවත් රතන භික්ෂුව එහිදී වැඩිදුරටත් කියා සිටියි. පාතාල නායකයෙක් යැයි එසේ හැඳින්වෙන සමන් පෙරේරා මේ මන්ත්‍රී නාටකයේ කරළියට පැමිණෙන විට එම තැනැත්තා ඉදිරිපත් වන්නේ ඥානසාර භික්ෂුව වෙනුවෙන් බව දේශපාලන අංශවල රාවයක් පැතිර යයි. වැඩේ සමන්ගේ අතට ගෙන, පසුව තමන්ගේ අතට ගැනීමට ඥානසාර භික්ෂුව උත්සහ කරන බව එම ආරංචි මාර්ග පවසයි.

ඊළඟට, මන්ත්‍රී අසුන පැහැරගැනීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වී ඇතැයි ද පක්ශයේ ලේකම්වරයාව කවුරුන් හෝ බලවතෙක් උස්සා ඇතැයි ද පවසමින් එම පක්ෂයේ ක්‍රියාකාරික පාහියංගල ආනන්ද භික්ෂුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අලුත් කතාවක් පත්තු කරයි. පාහියංගල ප්‍රවේශය ගලගොඩඅත්තට වාසි දායක බව එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය වෙයි.

මේ අතර, අතුරුදන් වූ ලේකම් භික්ෂුව මාවනැල්ලේ නිවසක සිටින බව 119 වෙත ලැබුනු ඇමතුමිකින් හෙළිවෙයි. පොලීසිය එතනට යද්දී එහි සිටින පුද්ගලයකු පවසන්නේ වේදිනිගම භික්ෂුව ආරක්ෂාව මදි කියා පිටත්වූ බවය. වෙදිනිගම භික්ෂුව පිටුපස ජීප් රථ කිහිපයක් ලුහු බඳින බව පැවසුවේ යැයිද එම පුද්ගලයා වැඩිදුරටත් කියා සිටියි.

ලේකම් භික්ෂුව හංගාගෙන සිටින්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහය දීමේ කොන්දේසිය මත ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් බවට රාවයක් දේශපාලන අංශ වල මේ වන විට පැතිර යයි. එය ඇත්තක්නම් මේ ඇවිලී ඇත්තේ එක්තරා ආකාරයකට මතවාදී හාම්පුතුන් සහ මතවාදී මෙහෙකරුවන් අතර කැත රණ්ඩුවකි.

ඉන් අනතුරුව ඥානසාර භික්ෂුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රී ධුරයට සුදුසු තමා බව කියයි. රතන භික්ෂුව සහ තමා අතර කිසිදු ප්‍රශ්නයක් නැති බවත් පක්ෂයේ ජනප්‍රිය නායකයා පාර්ලිමේන්තු යැවීමට රතන භික්ෂුව එකඟ විය යුතු බවත් ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියි.

මේ වන විට නාටකය තවත් පැත්තකට පෙරලී ඇත. අරඹේපොළ රතනසාර නමැති භික්ෂුවක් ස්විස්ටර්ලන්ත තනාපති කාර්‍යාලයට පැමිණ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේය. එම භික්ෂුව පැවසුවේ ගලගොඩ අත්තේ සහ සමන් පෙරේරා යන අයගෙන් තමන්ට ජිවිත තර්ජන ඇති බැවින් ජීවිතාරක්ෂාව ඉල්ලා ස්විස් තානාපති කාර්යාලය වෙත පැමිණි බවයි.

ඒ පැමිණි අරඹේපොළ රතනසාර භික්ෂුව යනු 2017 සැප් 26 වැනිදා ගල්කිස්සේදි මියන්මාර සරනාගතයන් පිරිසකට ප්‍රහාර එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුය. එදා තමන් විරෝධය පෑ ස්විස් තානාපති කාර්යාලය වෙතටම ජීවිතාරක්ෂාව පතා පැමිණීම කුමන අන්දමේ කර්මයක්0 පලදීමක් දැයි අප දන්නේ නැත. නාටකය තවම එතැනය. ආසනය උදෙසා ශාසනය පිටුදැක දියත් වූ භීෂණය තවම නිමි නැත. අපි බලා සිටිමු.

 

***********************

 ``ආනන්ද``

``ස්වාමිනී?``

``පිපාසයි ආනන්ද``

 

| විමල් කැටිපෙආරච්චි |