හිඟන්නෙක් දරාගන්න බැරි බෞද්ධ රටක් ද මේ ?

හිඟන්නෙක් දරාගන්න බැරි බෞද්ධ රටක් ද මේ ?

පාරවල් වල ඉන්න හිගාකන මිනිස්සුන්ව අයින් කරන්න හදනවා. නගරය පිරිසිදුවට පොෂ් විදිහට තියාගන්න. බහුතර ජනතාවකගේ කැමැත්ත වෙලා තියෙන්නෙ ඒක. හිගාකෑම අවශ්‍ය නොවෙන සමාජයක් නිර්මාණය කිරීම නෙමෙයි ඒ වෙනුවට හිගාකන මිනිස්සුන්ව අයින් කරලා දාන එක. පුළුවන් නම් නොපෙනෙන්න මරලා දාන එක. මීට කාලෙකට කලින් එහෙම පාරවල් අයිනෙ නිදාගෙන හිටපු හිගන මිනිස්සුන්ගෙ ඔලුවලට ගල් අතාරින ව්‍යාපෘතියක් සිද්ද වුනා. පුදුමයට කාරණය වෙන්නෙ ඒවට මිනිස්සු කැමති වෙන එක. මට ඒක තේරුම් ගන්නම බැරි තත්වයක්. අපෙන් කීයක් හරි ඉල්ලගෙන ජීවත් වෙන මිනිස්සුන්ව අයින් කරලා දාන්න ඕන කියන එක. අපි කොහාටද මේ යමින් ඉන්නෙ?

හිගමන කියන එක අපේ ආධ්‍යාත්මික සම්ප්‍රදායක්. මහණකම කියන්නෙත් හිගමනේම ප්‍රවර්ගයක්. අද පන්සල් පොෂ් වුනාට බුදුන් වදාල ධර්මය හිගාකා ජීවත් වෙන සම්ප්‍රදායක්. අපි හිගන්නෙක් නෙමෙයි පිස්සෙක්වත් කොටු කරලා කොන්කරලා දාපු මිනිස්සු නෙමෙයි. අපි සමූහයක් විදිහට ඒ ජීවිත අවශෝෂනය කරගත්තා. රැකබලා ගත්තා. අපි පෝසත් ජාතියක් කියනනෙ මෙන්න මේවා හින්ද. බැඳපු ලොකු කොන්ක්‍රීට් සෑයවල් හින්ද නෙමෙයි.

දානය කියන්නෙ අපේ බෞද්දකමේ තියෙන වැදගත්ම ප්‍රැක්ටිස් එක. ඒක පන්සල්වල ඉඳන් සැප විඳින හාමුදුරු කුස පුරවනු පිනිස දෙන, මතු භවයේ දෙව්ලෝ සැප විඳින පැතුමෙන් දෙන ලාබ දානය නෙමෙයි. අනෙකා ගැන ඇතිවන කරුණාවෙන් කිසිත් ආපසු ලබනට නොසිතා දෙන දානය. දානය කියන ගුනය නැති කිසි මිනිහෙක් ශිෂ්ට මනුස්සයෙක් නෙමෙයි.

හිගන්නො ගිහින් දානවට පක්ෂව කතා කරන අය කියන්නෙ හිගන කර්මාන්තයක් බිහිවෙලා තියෙනවා කියල. ඉතින් මොකද? රටේ කිසිම කර්මාන්තයකින් ජීවනෝපායක් සකසා ගන්න බැරි මිනිස්සු පිරිසකට කර්මාන්තයක් බිහිවෙලා තියෙනවා. අපි විඳින සැපවත් ජීවිතවලින් අංශුමාත්‍ර කොටසක් ඒ මිනිස්සු වෙනුවෙන් කැප කරනවා. අපේ රජය සියලු පුරවැසියන්ට රැකවරණ සලසන රජයක් නෙමෙයි. අපිට එහෙම සේෆ්ටි නෙට්වර්ක් එකක් නෑ. එතකොට මොකක්ද අපි යෝජනා කරන විකල්පය? එක්කො ඒ මිනිස්සු හිගා නොකා හොරු මංකොල්ලකරුවො හෝ දේශපාලකයො වෙන්න ඕන. නැත්තං ඒ මිනිස්සුන්ව අයින් කරලා දාන්න ඕන. සම්පත් බෙදීයාමේ ක්‍රියාවලිය අවසාන පුරුක් දක්වාම ගෙනයන්න බැරි වීමේ අසමත්කම වෙනුවෙන් අපේ යෝජනාව උන්ව මරලා දාන එක.

ඒක කර්මාන්තයක් විදිහට හැදිලා අපයෝජනයන් සිද්ද වෙනවා නම් ඒ අපයෝජනයන් මගහරවන ක්‍රමවේදයන් ගැන අපි හිතන්න ඕන. හිගන කර්මාන්තය වඩා සංවර්ධනය කරන්න පුළුවන් නිර්මාණාත්මක විදි. ආර්තිකව දුප්පත් වුනත් අපි සමාජයේ අන්ත කෙලවර මිනිසා දක්වාම බාරගන්න ලෑස්ති ආධ්‍යාත්මිකව පෝසත් මිනිස්සු කියන පනිවුඩය අපිට දෙන්න පුළුවන්. තමන්ගෙන් කීයක් හරි ඉල්ලන දුප්පත් මිනිහෙක් අපිට මේ තරම් අප්සෙට්ද?

ලෝකෙත් මේ විදිහට හිතුවොත් කොහොම වෙයිද? දැන් අපේ වගේ අනුන්ගෙ රටවලින් හිගාකමින් ජීවත් වෙන, ඒකම කර්මාන්තයක් කරගත්ත රටවල් ලෝකෙට වාතයක්, ඒ රටවල් ලෝක සිතියම සිතියම කැත කරනවා. ඒවා අයින් කරලා දාන්න ඕන කියන කොරොන්ටයින් මතවාදය. අපිටත් වඩා දුප්පත් රටවලට එහෙම වුනොත් මොනවා වෙයිද? අපි යෝජනා කරන්නෙ ඒක තමයි කරන්න ඕන විදිහ කියලද?

හිගන්නෙක් කරන්නෙ වෘත්තියක්. ඒ වෘත්තියෙන් ඉටුවෙන මානසික උපයෝගිතාවයක් තියෙනවා. මිනිස්සුන්ට තව මිනිහෙකුට කීයක් හරි දුන්නම ලැබෙන සතුට. ඕන නම් ඒ මිනිහා කියන ආශීර්වාදවලින් ලැබෙන අස්වැසිල්ල. ඒත් නැත්තං අපි හිගන්නට වඩා උඩින් ජීවත් වෙනවා කියල දැනෙන අභිමානය. දැන් හිගන්නෙකුට දෙන අඩුම ගාන රුපියල් දහයක් වෙලා තියෙනවා. මට හරි සතුටුයි ඒ ගැන. ඒ කියන්නෙ ඒ මිනිස්සු හොඳ ආදායමක් ලබනවා. අපිට දැනෙන්නෙ නැති ගානක් ගෙවලා අපිට පුළුවන් වෙලා තියෙනවා එක සමාජ ස්තරයක් නඩත්තු කරන්න.

පාරක හිගන්නෙක් චූ කරන මිනිහෙක් නැත්තං ඒවා රටවල් නෙමෙයි. ඒවා සොහොන්. මිනිස්සු දියුණු වෙනවා කියන්නෙ එක එක සමාජ තීරු අතුගාලා දාන එක නෙමෙයි. මනුස්සයෙකුගෙ අවම හිරිහැරයවත් බාරගන්න බැරි තරමට නරුම වෙන එක නෙමෙයි. ඒක නොදියුනුකම. පිරිසිදු පාරවල් ලොකු බිල්ඩින්ග් තියාගෙන හිගන්නෙකුට බල්ලෙකුට පාරෙ ඉන්න නැති කරපු නගර කියන්නෙ දුප්පත්කම.

හිගන්නො නැති කරනවා. බල්ලො නැති කරනවා. ඕන නැති මිනිස්සු නැති කරනවා. අපි දියුණු වෙනවා. සිංගප්පුරුව වගේ වෙනවා.
තූ නොදකින්.

| චින්තන ධර්මදාස ෆේස්බුක් හි තැබූ සටහනකි. හෙඩිම අපෙනි |