ඉතිහාසය අවසන් නැත ! මේ දූපතට ඔබ අවශ්‍යයි !!

ඉතිහාසය අවසන් නැත ! මේ දූපතට ඔබ අවශ්‍යයි !!
ඉතිහාසය අවසන් නොවූ බව අප සටහන් කළේ ජනපතිවරණ ප්‍රතිඵල ලැබී විසිහතර පැයක් යන්නට මත්තෙනි. ලක්ෂ දහතුනාමාරක `ලීඩ්` එක දැක ලංකාවෙන් එක පිරිසක් `ෂෝක්` වෙද්දී, තව පිරිසක් `ෂොක්` වූයේය. ඒ තර්කානුකූල කම්පනය එන්නේ, අන්ත ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රවාදී දෘෂ්ඨිවාදයක විජයග්‍රහණයට සමාන්තරව ය. එය ඇත්තකි.

රුවන්වැලි සෑය ඉදිරිපිට දිවුරුම්දීමෙන් සහ දේශපාලන ප්‍රතිවාදීන්ට හූ කීම ඉවසීමෙන් නව ජනපති ගෝඨාභය ඉතා පැහැදිලිව පෙන්නුම් කළේ, තමන් `සිංහලබුද්ධාගමේ` බව සහ `සිංහලබුද්ධාගම` තමන්ගේ බවත් මිස වෙන යමක් නොවේ. දැන් ඒ `සිංහලබුද්ධාගම` මිලිටරි යාන්ත්‍රණය සමග වැඩ අල්ලමින් ප්‍රගතිශීලීන් වෙත ඉව අල්ලමින් සිටියි.

එජාපයට හිතවත් ඇතැම් උදවිය අපෙන් අසන්නේ ```දැන් තොපිට සැපදැ``යි කියා ය. එක්සත් ජාතික පක්ෂය හරියට ආණ්ඩු කළේ නම්, සිරගෙවල්වල සිටිය යුතුවුන් ඡන්දය ඉල්ලන්නට විදිහක් නැත. යක්ෂයාට කිරි පොවා ඩීල් දමා සුරතල් කර, දැන් යකා පෙන්වා කොකා පෙන්වීම ඔවුන්ට දිගට ම කළ හැකි ය. යක්ෂයා බෝතලයේ දමා මූඩිය නොවැසූ උදවිය සමග කාලය නාස්ති කිරීම අපරාධයකි. එහෙත්, ලිබරල් මිනිසුන් සමග සංවාදය අනාගත දේශපාලන ආයෝජනයකි.

අපගේ පෞද්ගලික සහයෝගය ජාතික ජන බලවේගය වෙත හිමිවූයේ මනෝරාජික ලෙස නොවේ. එහි ශක්තීන් මෙන් ම සීමාවන් හොඳින් දැන දුන් ඒ සහයෝගයට හේතු වූයේ සාධාරණය හා යුක්තිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි මෙන් ම සමීප දේශපාලන අවකාශය ඒ වටා නිර්මාණය වීම මිස වෙන කිසිවක් නොවේ. මධ්‍යස්ථ විහිළු තහළු සපයන්නන්, වෘත්තීය කින්ඩි දමන්නන් සමග මෙන් ම වාම සහ දක්ෂිණ (යන) අත බලා ශාස්ත්‍ර කියන්නන් සමග අපට පුද්ගලික ආරෝවක් නැත. විනෝදය පිණිස ඒවා ද වැදගත් ය.

අප කැමති වුවත් නැතත් නපුර අප ඉදිරිපිට විද්‍යමාන ය. නපුර දිගුකාලීනව පැරදවිය හැක්කේ ප්‍රගතිශීලීන්ගේ සමගියෙන් ම පමණක් බව අපි යළි යළිත් කියමු. අනෙක් අතට, නපුරට එරෙහි මනුෂ්‍ය ව්‍යාපාරය යනු අප සියල්ලෝ ම ය. අසවලා හෝ අසවල් ව්‍යාපාරය එසේ හෝ මෙසේ නොකරන්නේ හෝ නොකියන්නේ මන්ද යන්න සමස්ත සංවර්ධන මට්ටමේ තීරණයකි. මැදිහත්වෙමු. කතාකරමු. ඒ තමයි මහා ව්‍යාපාරය.

සමගියට බාධා කරන සිතීම නම්, නපුරට එරෙහි කඳවුරේ සටන් සගයා හෑල්ලු කිරීම ය. ජවිපෙ ද පෙසප ද ජාජබ ද මෙකී නොකී වෙනත් වාම හා ප්‍රගතිශීලී සංවිධාන ද තනි තනිව නැගෙන මිනිසුන් ද එක මිත්‍රත්ව රේඛාවකට ආ යුතු ම ය. `කඹ ඇදීම` උදාහරණය නම්, කඹය මුළින් අල්ලා සිටින කෙනා තරම් ම අගින් අල්ලා සිටින කෙනා ද වැදගත් ය. අප එකිනෙකාට ඒ ඒ වගකීම් ඇත.

මෙය මීට වඩා ගැඹුරෙන් කළ යුතු සංවාදයකි. මේ ඊට කුඩා පිවිසුමක් පමණි. මේ අදහස් පවා දිව්‍ය නියාම නොව සංවාදයට විවෘත ය. පෞද්ගලිකව සහ සාමුහිකව වැරදුණු තැන් ගැන නැවත කියවීමක් කළ යුතු ම ය. ඒ කෙසේ වුව, යුක්තිය පතන හෘදය සාක්ෂියක් සහිත මිනිසුන් කිසිදු ලෙසකින් නිහඬ නොවිය යුතු ය. මර්දනය විවිධ වේෂයන්ගෙන් පැමිණිය හැකි මුත් අප අපේ අත් තදින් අල්ලාගත යුතු ය. යළිත් කියමු. මේ දූපතට ඔබ තව දුරටත් අත්‍යවශ්‍යව පවතියි.

ඉතිහාසය අවසන් නැත !

| විමල් කැටිපෙආරච්චි |