ගෝඨා චින්තනය අවංකව කියවමු ! (01 කොටස) 

 ගෝඨා චින්තනය අවංකව කියවමු ! (01 කොටස) 
අටුවා ටීකා ටිප්පණි වැඩක් නැහැ. කෙලින්ම කතාවට බහිමු. 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මිනිස්සු පරද්දලා ගෙදර යැව්වේ ඇත්තටම කියනවා නම් මහින්දව නෙමෙයි, ගෝඨාව. ඇයි අපි එහෙම කියන්නේ ? ගෝඨා කියන්නේ ඒකාධිපතීත්වයේ ම්ලේච්ඡ සංකේතය. මහින්දට එරෙහිව සටන් පාඨ බිහිවීමේ උල්පත එතැන. ලසන්තට උල් ආයුධවලින් ඇනලා මැරුවා. එක්නැලිගොඩ අතුරුදන්. මරලා බඩ කපලා මූදට දැම්මා කියල කියනවා. ලලිත් කුගන් අතුරුදන් කෙරුවා. බොරැල්ල කනත්තේ උඳුනට දැම්මා කියලයි නිල නොවන ආරංචි ආවේ. (බොරැල්ල කනත්තේ උඳුන.. අපි ඒක ගැන තව විස්තර කියන්නම්) 

ඉතින් මහින්ද නෙමෙයි ඒ ම්ලේච්ඡත්වයේ සංකේතය. ඒ තමයි ගෝඨා. මහින්දගේ චින්තනය වුණේ මහින්ද චින්තනය නෙමෙයි, ගෝඨා චින්තනය. ඒ චින්තනය මෑත දේශපාලන ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ගත්තේ ගෝඨා ආරක්ෂක ලේකම් ධුරයට තියා දේශපාලන හෝ ආරක්ෂක වැඩවලට ගෑවෙන්න හුඟක් කලින්. අපගේ කියැවීම අනුව ගෝඨා චින්තනය මුලින්ම ක්‍රියාත්මක කෙරුවේ සිරිමාවෝ හෙවත් අද දේශපාලනයේ යටින් නූල් සූත්තර දාන චන්ද්‍රිකාගේ අම්මා. හැත්තෑ එකේ කැරැල්ල එයා මර්දනය කෙරුවේ ගෝඨා චින්තනයට අනුව. ඊළඟට ගෝඨා චින්තනය ක්‍රියාත්මක කෙරුවේ ජේ.ආර්. සහ එවකට ජාතික ආරක්ෂක ඇමති ලලිත්. දේශපාලන විරුද්ධවාදී කොටස්වලට රාජ්‍ය ත්‍රස්තවාදය යොදවලා මරණය ගේන එක තමයි ගෝඨා චින්තනයේ පදනම. 


ගෝඨා චින්තනය ලෝක පරිමාණ එකක්. ගෝඨා ඉපදෙන්නත් කලින් තමයි ගෝඨා චින්තනය ඉපදුණේ. ඒකෙ පූර්වගාමීන් තමයි හිට්ලර්ලා. මුසොලිනීලා. ඉඩි අමීන්ලා බොකාසාලා ඒක ඉස්සරහට අරගෙන ගියා. ඉතින් ජේ.ආර්.ගෙන් පස්සේ, ගෝඨා චින්තනය ක්‍රියාත්මක කෙරුවේ සජිත්ගේ සදාදරණීය පියාණෝ වෙච්ච ප්‍රේමදාස , එවකට ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන්, ගෝඩ් ෆාදර් කුරේ, සොත්ති උපාලි ඇතුළු කල්ලිය. ඔව්. ඔන්න දැන් මෙතැනදී අපට පුළුවන් බොරැල්ල කනත්තේ උඳුන ආයෙමත් මතක් කරන්න. ප්‍රේමදාස ආණ්ඩුවෙන්, එවකට `ආණ්ඩු විරෝධී ජනතා යටිසිතේ අපේක්ෂාව` වෙච්ච  විජේවීරව විසිකෙරුවේ අන්න ඒකට තමයි. ඉතින් දැන් ඔබට පේනවද ගෝඨා චින්තනයේ දීර්ඝ ඉතිහාසය සහ `2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මිනිස්සු පරද්දලා ගෙදර යැව්වේ ඇත්තටම කියනවා නම් මහින්දව නෙමෙයි, ගෝඨාව` කියන කාරණාව. 

හැබැයි මොකද වුණේ ? 2015 ආපු ආණ්ඩුව ගෝඨා චින්තනය පැරැද්දුවේවත් ගෝඨා චින්තනය ක්‍රියාත්මක කළවුන්ට දඬුවම් කළේවත් නැහැ. හරියට චන්ද්‍රිකා සහ මහින්ද ආණ්ඩු, බටලන්ද වධකාගාරයේ ගෝඨා චින්තනය ක්‍රියාත්මක කරපු රනිල්ට ලිස්සලා යන්න දුන්නා වගේ. 2015 ආණ්ඩුව ගේන්න `කඩේ ගිය` (ඒකනේ සමච්චලේට පාවිච්චි කරන වචනේ - අපි ඒක දේශපාලනිකවම ගමු ඉතින්) ඒකාධිපති විරෝධීන්ට වෙන යන්න තැනක් නැති කමට මෛත්‍රීව ගෙනාවා, යූ එන් පී එකත් එක්ක එකතු වෙලා. ජවිපෙ මැනුවල් මෝඩ් එකෙන් ඔටෝ මෝඩ් එකට මාරුවෙලා වැඩේ කෙරෙන්න දුන්නා. ඒකාධිපති විරෝධී කොටස් සහ ජවිපෙ කියන දෙගොල්ලොම අද වගේම එදා මුහුණ දුන්නෙත් සමාන යථාර්ථයකට. එක අතකට ඒ වෙලාවේ වෙන මොනවා කරන්න ද ? යමක් වේවි කියල තිබුණු එකම `වියහැකියාවේ බලාපොරොත්තුව` වුණේ මෛත්‍රී - රනිල් ප්‍රතිවිරෝධය ඇතුලේ ගෝඨා චින්තනය පසුබස්සන්න ඉඩක් ලැබෙයි කියන දේශපාලන ප්‍රාර්ථනාව විතරයි.


(මතු සම්බන්ධයි.)

| ඇටමැස්සා ලියයි |