ප්‍රේමවන්තයන්ට එක නීතියක් ! ප්‍රේමලාල්ට තව නීතියක් !! මොන රටක් ද මේ ?

ප්‍රේමවන්තයන්ට එක නීතියක් ! ප්‍රේමලාල්ට තව නීතියක් !! මොන රටක් ද මේ ?

ප්‍රේමවන්තයන්ට එක නීතියක් !
ප්‍රේමලාල්ට තව නීතියක් !!
මොන රටක් ද මේ ?
_____________________

මේ කියන්න හදන්නෙ ආදර කතාවක්. මේ යුගයේ ආදර කතාවක්.

සුමුදු ලස්සන කෙල්ල. මුළු ටියුෂන් පන්තියේ ම හිටපු කොල්ලන්ගෙ සිහිනය වුණේ සුමුදු.ඒ බව සුමුදුත් දැනගෙන හිටියා. ඒ නිසා ම සුමුදු පොඩි ආඩම්බරේකින් හිටියේ. ටියුෂන් පන්ති තිබ්බ ආයතනයේ එක් එක් පන්තිවලට එක එක ශාලාවලට යන එනකොට ගැටවර පිරිමි ඇස් තමන් පසුපස එනබව සුමුදු දැනගෙන හිටියා. ඒත් ඒ ඇස්වලට සුමුදුගෙ හිත හොලවන්න බැරිවුණා.

කවදාවත් හෙලවෙන්නෙ නැතිවෙයි කියල හිතපු සුමුදුගෙ සුමුදු හිත එකමත් එක දවසක් හෙලවුණා. ඒ ජනිත්ගෙ ඇස්දෙක සුමුදුගෙ ඇස්දෙක මුළින්ම දැක්ක දවසේ. ජනිත් කඩවසම් කොල්ලා. මලයාලම් නළුවෙක් වගේ ආකර්ෂණීය පෙනුමක් ජනිත්ට තිබුණා. දවසක් ටියුෂන් පන්තියෙ කැන්ටිම ගාවදි ජනිත් සුමුදුගෙන් ඇහුවා. ඊළඟ සතියෙ සුමුදු හා කිව්වා.

ජනිත් සුමුදු එක්ක ෆේස්බුක් එකේ චැට් කෙරුවා. සුමුදුගෙ පවුලෙ අයයි ජනිත්ගෙ පවුලෙ අයයි දෙගොල්ලොම විනය ගැන හරිම සැලකිලිමත්. ඒ නිසා මේ දෙන්නා චැට් කළේ ගෙදරට හොරෙන්. දවසක් සුමුදුගෙ තාත්ත හොඳටම බීල ඇවිත් පුටු පොළවෙ ගගහ අම්මටත් කෑ ගැහුවා කෙල්ල ෆෝන් එකේමයි තමුසෙගෙ වැරැද්ද කියල. සුමුදු එදා නූලෙන් බේරුණා.

ජනිත්ගෙ අම්මා රෑ වෙනකම් ඉඳල, මුළු දවසෙම එකතු වෙච්ච් කුණු ටික බෑග් එකක දාගෙන ගිහින් ගෙවල් ගාව පාරෙ වංගුවට වීසි කරලා එනකොට ජනිත් ගේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන සුමුදු එක්ක චැට් එකේ. අම්මා එකපාරට ෆෝන් එකට එබිලා බැලුවත් ජනිත් ටක් ගාල කවර් කරගත්තා. අවුරුදු ගාණකට කලින් ජනිත්ගෙ තාත්තා එක්ක පැනල ආවත්, ජනිත්ගෙ අම්මා විනය ගැන හරිම සැලකිලිමත්.

සුමුදු ජනිත්ට හා කිව්වේ, මහමැතිවරණයට කලින් සුමානේ. මුළු රටම ඡන්ද උණුසුමේ තියෙන වෙලාවේ සුමුදුයි ජනිතුයි ප්‍රේමයෙන් උණුසුම් වුණා. මහලොකු දෙයක් නෙමෙයි, බස් එකේ පිටිපස්සෙ සීට් එකේ තුරුල් වෙලා ආව විතරයි. දෙන්නට කතාකරන්න ගොඩාක් දේවල් තිබුණත් - හදවත්වල තිබ්බ දේවල් මුවින් පිටවුණේ නැහැ. පළවෙනි පාරට මෙහෙම යන අසරණ කෙල්ලයි කොල්ලයි ගොළු වෙලා වගේ හිටියේ.

අන්තිමේදී කොල්ලා කොහෙන් හරි පටන් ගන්නවා කියල හිතාගෙන කතාකරන්න පටන් ගත්තා. ``ඔයාලගෙ තාත්තල මේ පාර කාටද ඡන්දෙ දෙන්නෙ. අපි නම් ගිය පාර දුන්නෙත් සර්ට. මේ පාරත් සර්ගේ කට්ටියට.`` සුමුදුගෙ හිත පිනා ගියා. ``හානේ.. අපේ ගෙදරත් ඔක්කොම සර්ට..`` තාම ඡන්දෙවත් නැති මේ සුහුඹුල් පෙම්වතුන් දෙදෙනා පවුලේ පොදු සාධකයක් හොයාගෙන සතුටු වුණා.

ඡන්දෙ නැතිවුණාට ජනිත් ඉස්කෝලෙ යාළුවො ටිකක් එක්ක එකතුවෙලා රට ජාතිය ආගම බේරගන්න පේජ් දෙකතුනක් හදාගෙන තිබුණේ. සිංහලේ අපි එඩිතර සිංහයෝ පේජ් එකේ ඇඩ්මින් ජනිත්. ``මේ රටේ විනය හදන්න නං සර්ට තමයි වැඩකරන්න ඕන`` කියල ජනිත් මහලොකු මිනිහෙක් වගේ කිව්වා. තමන්ගෙ පෙම්වතා දිහා සුමුදු බලාගෙන හිටියේ වීරයෙක් දිහා බලනව වගේ.

සුමුදුගෙ ඇස්වල දීප්තිය දැක්කම ජනිත් තව උත්කර්ෂයට පත්වුණා. ``මොනා නැතත් ඉන්න රටක් තියෙන්න ඕන`` ජනිත් එහෙම කියනකොට සුමුදු ජනිත්ගෙ අත අල්ලගත්තා. රට ජාතිය ආගම රකින්න පෙරට යන වීර පෙම්වතා තමන්වත් රැකගනියි කියල සුමුදුගෙ හිතේ විශ්වාසයක් ඇතිවුණා. ``අපේ තාත්තත් ඔයා කියන එකමයි කියන්නේ`` සුමුදු කිව්වෙ ඇත්ත. ඒත් තාත්තා රෑට බීල ඇවිත් නටන නාඩගම සුමුදු කිව්වෙ නැහැ.

අම්මල තාත්තලාගේ දේශපාලනය සුමුදුවයි ජනිත්වයි ගැටගහපු නූලක් වගේ වුණා. අපි දෙන්නම රට රකින පවුල් දෙකක - රටේ විනය රකින පවුල් දෙකක සාමාජිකයෝ කියන ආඩම්බරය දෙන්නගෙම හිත්වල තිබුණා. මහමැතිවරණය ආව. ප්‍රතිඵල එන්නත් කලින්, ``ඔයා බයවෙන්නෙපා පැටියෝ අපි දිනනවා`` කියල ජනිත් සුමුදුට වට්සැප් කෙරුවා. සුමුදුගෙ හිත ආදරෙන් පිරුණා.

ප්‍රතිඵල එන්න පටන් ගත්තා. ``ඔයා කිව්වා හරියට හරි වස්තු. ඔක්කොම ආසන අපි උඩින්ම දිනනවා`` සුමුදුත් ජනිත්ට වට්සැප් කෙරුව. ගෙවල් මඟුල් ගෙවල් දෙකක් වෙලා තිබුණේ. පාටි දානවා බයිට් හදනවා රතිඤ්ඤා දානවා එක කෙළියයි. වෙනද වගේ ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා කියල බනින්නෙත් නැහැ. ඒ අතරවාරේ සුමුදුයි ජනිතුයි හිතේ හැටියට මැසේජ් කරගත්තා. ``උම්ම්ම්මා`` වගේ මැසේජුත් එහාට මෙහාට හුවමාරු වුණා.

සුමුදුයි ජනිතුයි ගෙවල්වල කට්ටියයි ඡන්දෙ දිනුවා. ඒත් මේ දෙන්නා තමන්ගෙ පෙම් සටන දිනලා ඉවර නැහැ. ජනිත්ට ආසයි සුමුදුට ඇත්තටම හාද්දක් දෙන්න. මැසේජ්වලින් ``උම්ම්ම්මා``කිව්වට ඒක ඉතින් මදි. සුමුදුටත් ඒ උවමනාව තිබුණා කියන්න ලැජ්ජාවෙන් හිටියේ. දවසක් බස් එකේදී, ``අපි දවසක නිදහස් තැනකට යමුද`` කියල ජනිත් ඇහුවා. සුමුදු ``හ්ම්ම්`` කිව්වා.

මේ අතරේ ෆේස්බුක් එකේ ගිනි ඇවිලිලා තිබ්බේ. සර්ගේ ආණ්ඩුව දවස ගානේ නා ගනිමින් හිටියේ. සිංහරාජේ පාරක් කපන්න ගිහින් නාගත්තා. ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කරන්න ගිහින් නා ගත්තා. ඒ අස්සේ වනාතවිල්ලුවේ ගස් කපලා කැලේට ගිනි තියලා. ජනිත් මේ ගැන ටිකක් අවුලෙන් හිටියේ. මොකද ජනිත් ඇත්තටම පරිසරයට ආදරේ කොල්ලෙක්. විල්පත්තු කපද්දිත් විරුද්ධ වෙච්ච කොල්ලෙක්.

ඒ දවස උදා වුණා. සුමුදුයි ජනිතුයි ටියුෂන් පන්තිය කට් කෙරුවා. ``පාක් යමුද`` ජනිත් ඇහුවා. සුමුදු ``හා`` කිව්වා. පාක් එකේ ගහක් යටට ගිහින් ජනිත් සුමුදුව තුරුල් කරගෙන ඒ ලස්සන තොල් දෙක සිපගන්න හදනකොටම පාක් එක බලාගන්න සිකියුරිටි විසිල් එකක් ගැහුවා. මිනිහ බලාගෙන ඉන්නේ කවුද කාවද ඉඹින්නේ කියල.`` යනවා යනවා.. එනවා මෙතන මගුල් නටන්න. මම තව ටිකකින් පොලිසියට කෝල් කරනවා`` එයා කෑගැහුව.

``අනේ අපි මෙතනින් යමු`` සුමුදු අඬ අඬ කිව්වා. ජනිත් සුමුදුගෙ අතින් අල්ලගෙන පාක් එකෙන් පාරට ආව. ``ඔයා බයවෙන්න එපා..`` එහෙම කිව්වට ජනිතුත් ටිකක් බයවෙලා හිටියේ. ``අපි දැන් යමු`` සුමුදු කිව්වා. ජනිත්ගෙ තරුණ හිත පසුබාන්න ලෑස්ති නැහැ. ``බෑ අද මට ඔයාව ඉඹින්නම ඕන.. අපි බීච් යමු`` ජනිත් කිව්වා.

සුමුදු ජනිත්ට කීකරු වුණා. බීච් එකේ බංකුවල තවත් පෙම්වතුන් ඉඳගෙන හිටියා. සමහරු මුහුද දිහා බලාගෙන හිටියා. සමහරු කුඩ ඉහළගෙන තුරුල්වෙලා හිටියා. එක පාරට ජනිත්ගෙ ෆෝන් එක රිං වුණා. ``වැඩකරන අපේ විරුවා.. මව්බිමට පෙමින් සැමදා`` කියල ෆෝන් එක රින් වෙනකොට සුමුදුගෙ හිතේ තිබ්බ අනාරක්ෂිත ගතිය පහවෙලා ගිහින් තවත් ජනිත්ට තුරුළු වුණා.

``හලෝ`` ජනිත් ෆෝන් එක ආන්සර් කෙරුව. ``කොහෙද ඉන්නේ ?`` එහා පැත්තෙන් කතා කෙරුවේ ජනිත්ගේ අම්මා. ``මම ක්ලාස් එකේ`` ජනිත් උත්තර දුන්නා.``ක්ලාස් එකේ මොකද්ද ඔච්චර සද්දේ ? අන්න තාත්තට කවුද කියල ඔයා ගෑනු ළමයෙක් එක්ක පාක් එකේ ඉඳල දිව්වා කියලා`` ජනිත්ට දාඩිය දැම්මා. සුමුදුත් බයවෙලා.

``අපි යමුද ?`` සුමුදු හෙමින් ඇහුවා. අසරණ කමට ජනිත්ගෙ ඇස්වල කඳුළු පිරුණා. ඒත් තරුණ හිත සුමුදුගෙ තොල්දෙක හෙව්වා. දෙන්නගෙ දෙතොල් ළංවෙන්න දීල කුඩේ හෙවනක් හැදුවා. අනේ ඒත් ඒ ලස්සන නිමේෂය උදාවුණේ නැහැ. ``නැගිටිනවා නැගිටිනවා.. තමුන් මේ ටියුෂන් කට් කරලා නේද ඇවිත් ඉන්නෙ?`` කාකි පාට නිල ඇඳුම් දැක්කම සුමුදුයි ජනිතුයි නැගිට්ටුනා.

ෆේස්බුක් පේජ් එකේ රණවිරුවෝ රැකගනිමු කියල පෝස්ට් දැම්මට මොකද, නිල ඇඳුම් දැක්කම ජනිත්ගෙ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙන්න පටන් ගත්තා. සුමුදු දැනටමත් ඉකි ගහනව. ``පන්ති යනවා කියල මේකයි එහෙනං කරන්නේ.. නගිනවා ජීප් එකට.`` මොකද්ද කරන්නෙ කියල ජනිත්ට හිතාගන්න බැරුව ගියා. ``අනේ සර්`` ජනිත් ගොත ගැහුවා. සුමුදු දිගටම ඉකි ගැහුවා.

``නගිනවා ජීප් එකට`` දෙවෙනි අණත් ලැබුණා. ``අනේ සර් අපි අහිංසකයි`` ජනිත් අත්දෙක එකතුකරලා වැන්දා. ඒ අත්වලින් රට ජාතිය ආගම වෙනුවෙන් ෆේස්බුක් එකේ මොනතරම් යුනිකෝඩ් අකුරු ගොඩක් ටයිප් කරලා තියෙනවද කියල රාලහාමි දැනගෙන හිටියෙ නැහැ. ``මේ මේ.. බයිලා නැතුව ජීප් එකට නගිනවා. දැන් මේ රටේ විනය හදන්න පටන් අරන් තියෙන්නේ. සර් එක්ක සෙල්ලම් බැහැ.`` ඒ වචන ඇහෙනකොට සුමුදු ජනිත් දිහා බැලුවා.

``අපේ තාත්තා වැඩකෙරුවෙත් සර්ට.. ඒ නිසා අපට යන්න දෙන්න..`` ජනිත් ඉස්සරහට පැනල කිව්වා. කාකි යුනිෆෝම් එක අස්සෙන් ආව දාර අතක් චටාස් ගාල ජනිත්ගෙ කම්මුල පුරා වැදුණා. ``නැගපන් පරයා ජීප් එකට පණ්ඩිතකම් කියවන්නැතුව`` ජනිත්ගේ ඇස්වලින් කඳුළු පැන්නා. ලැජ්ජාවට. තරහට. සුමුදු ඉකිගගහ ජනිත්ගෙ අතකින් අල්ලගත්තා. සර් ගැන සර්ලට කියන්න ගිය දේට සර්ලා ඉඩදුන්නෙ නැහැ.

ජීප් එකේ තව කොල්ලො ගොඩක් හිටිය. කෙල්ලන්ව දාගෙන පිටිපස්සෙන් තව ජීප් දෙකක් ආව. ``සුමුදු අඬනවද දන්නෙ නැහැ`` ජනිත්ගෙ පපුව හෝස් ගාල ගියා. ``වැඩකරන අපේ විරුවා.. මව්බිමට පෙමින් සැමදා`` ආපහු ෆෝන් එකක් රින් වුණා. ජනිත්ගෙ නෙමෙයි. එස් අයි මහත්තයෙක්ගේ. ``හරි සර් හරි.. ඔක්කොම ටික දාගෙන එනවා. ඔව් සර් ඔව්.. මෙහෙම නැතුව විනය හදන්න බැහැ``

 

කෙල්ලො කොල්ලො වෙන වෙනම පෝලින් ගස්සල අම්මල තාත්තල කැඳෙව්වා. ආපු ගමන් ගොඩක් අම්මල තාත්තල තමන්ගෙ දරුවන්ට කම්මුලට ගැහුවා. ජනිතුයි සුමුදුයිත් ඒ අතර හිටියා. පොලීසිය මුකුත් කිව්වෙ නැහැ. අම්මල තාත්තල ස්ථානාධිපතිට වැඳලා ළමයින්ව එක්කගෙන ගියා. ඒ ගොල්ලෝ විනය හදන එකට පොලිසියට ස්තුති කෙරුව.

ගෙදර ගිය ගමන් සුමුදුට තාත්තා ගැහුවා තරු විසිවෙන්න. සුමුදු කැරකිලා ගිහින් ටීපෝ එක පෙරළගෙන වැටුණා. ටීපෝ එක උඩ තිබ්බ ඇල්බම් වීසි වුණා. පරණ ඇල්බම් එකක සුමුදුගෙ අම්මා කොටම කොට ගවුමක් ඇඳගෙන ඉන්න ෆොටෝ එක ඉටිකොලේ ඉරාගෙන එලියට ආව. තාත්තව බඳින්න කලින් ඒ කාලේ අම්මා එයාගෙ මස්සිනා එක්ක කොට ගවුම් ඇඳගෙන පික්චර් බලන්න ගිය හැටි ආච්චි සුමුදුට කියල තියෙනවා. සුමුදු කවදාවත් එච්චර කොට ගවුම් ඇඳලා නැහැ.

ජනිත් ගෙදර ගිය ගමන් දොර වහගත්තා. තාත්තා දොරට ගැහුවා. ජනිත් දොර ඇරියෙ නැහැ. කුණු ටික පාරට දාපු අම්මා ඇවිත් ``ඇවිත් බත් කනවා`` කිව්වත් ජනිත් ඇඳට වෙලා හිටිය. ජනිත් කෝල් කරලා බැලුවත් සුමුදුගෙ ෆෝන් එක ඕෆ් වෙලා. මහන්සියට කේන්තියට දුකට ආදරේට මේ හැමදේකටම වගේ ජනිත් ඇස්දෙක පියාගත්තා. ජනිත්ට නින්ද ගියා. ජනිත් හීනයක් දැක්කා. ඒ හීනේ හිටියෙ වයසක මනුස්සයෙක්. හිටපු ගමන් පාක් එකේ - හිටපු ගමන් බීච් එකේ ඉන්න අහිංසක යාචකයෙක්.

ඒ මිනිහා කෑ ගැහුවා. ``මොකද්ද යකෝ මේ රට ? තොපි මොකද්ද හදන්න හදන කෙහෙල්මල් විනය ? මේ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට ආදරේ කරන්න නොදී මැද්දට කඩාගෙන පනින තලේබාන් සංස්කෘතියෙන්ද යකෝ විනය හදන්න හදන්නේ ? මහ එවුන් කුඩු බිස්නස් කරනවා. පාතාල වැඩ කරනවා. පාතාලේ ලොක්කන්ව රකින ගමන් පොඩ්ඩන්ව ආයුධ පෙන්නන්න එක්ක යනවා.. ඒකද විනය ?

එව්වා එහෙම වෙනකොට මේ පොඩි උන්ගෙ පුංචි සුන්දර මොහොත සුනු විසුණු කරනව මහාලොකු හපන්කමක් කරනව වගේ. අනේ තොපේ විනය. අන්න මිනීමරලා මරණ දණ්ඩනේ නියම වෙච්ච ප්‍රේමලාල් මන්ත්‍රී ධුරේ දිවුරුම් දෙනවා. තොපි විනය ගැන කතාකරන්නෙ කටින්ද නැත්නම් වෙන එකකින්ද ? ප්‍රේමලාල්ට තියෙන අයිතිය මේ ප්‍රේමවන්තයින්ට නැද්ද යකෝ`` මහල්ලගෙ කෑගැහිල්ලට ජනිත්ට මහ රෑ ඇහැරුණා.

ඒත් ජනිත්ලගෙ අම්මල තාත්තල නං තාම ඇහැරෙන පාටක්වත් නැහැ. ඒ ගොල්ලෝ පළාත් සභා ඡන්දෙ එනකම් මග බලාගෙන ඉන්නේ.

 

 | විමල් කැටිපෙආරච්චි |