යතුර කොයි කුමාර අතේද?

යතුර කොයි කුමාර අතේද?

නුතන ලංකා වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රවාහයන් තුන යැයි සැලකිය හැකි 'දේශපාලන පක්‌ෂ' තුනෙහි කැපී පෙනෙන නායකයන් තිදෙනාම 'කුමාර' ලාය. ඒ, අනුර කුමාර දිසානායක, දීප්ති කුමාර ගුණරත්න සහ ප්‍රේමකුමාර ගුණරත්නම්ය. තමන්ගේ ජිවිත ගලවා ගැනීම සඳහා දියසේන කුමාරයෙකු එන තෙක් යටි සිතේ බලාපොරොත්තු සිරකර උඩ බලන් සිටින ජනතාව ඇහැරවන්නට ශක්‍යතාවක් ඇති දේශපාලන දහරාවන් ත්‍රිත්වයේ ඉදිරියෙන් කුමාරලා තිදෙනෙක් සිටීම, සාහිත්‍යයට බර අහම්බයක් බව ඇත්තකි. එහෙත්; මේ සමාජය එහැම පිටින්ම සිරමැදිරියකි. ජාතිවාදයේ සිරමැදිරියකි. පාරිභෝජන භාණ්ඩ වන්දනා කරන සිරමැදිරියකි. මනුස්සකම තුරන් වී ගිය වියළි කට්ඨෝර සිරමැදිරියකි. එහි දොර විවර කොට නිදහස් මිනිස් සමාජයකට මේ දූපත විවෘත කරන්නට සමත් මිනිසුන් වෙත්නම්, (ගතින් හෝ සිතින් - භෞතිකව හෝ මතවාදීව - සෘජුව හෝ වක්‍රව ) මූලික වශයෙන් ඔවුන් සිටින්නේ පෙර කී කුමාරලා තිදෙනා අයත් දේශපාලන ප්‍රවාහයන් තුළ බව අපගේ අදහසයි. යතුර ඇත්තේ අහවලා අතේ යැයි ආගමික තේරුමකින් විශ්වාස කරනවා වෙනුවට යතුර ඇත්තේ කොතනදැයි එක්සත්ව සෙවිය යුතුය. තම තමන්ගේ දේශපාලන කුලකයන් වල, දැනුම - සංවිධාන ශක්තිය - ජවය මෙන්ම ධෛර්යය ද යෙදවිය යුත්තේ ඒ සඳහාය. බැලූ බැල්මට මේ අදහස 'මනෝරාජික' යැයි සිතෙන්නට පුළුවන. (1969ට පෙර හඳට යාමද මනෝරාජිකය ) එහෙත් එක්සත් වාම ව්‍යාපාරයක් ලෙස පදනම් සමගියකින් සටන් කිරීම මිස වෙන මගක් නැත. ඒ ඒ සටන් ක්‍රම - අරගල මාදිලි - ප්‍රමුඛතා හෝ සන්නිවේදන ශෛලීන් ගැන සංවාදය කළ යුත්තේ සමගිය මත පිහිටාය. පුළුල්තම මානව හිතවාදයක් ගැන කතාකරන වමට, ප්‍රාථමික රණ්ඩු වල නොපැටලී - එක් මේසයක් වටා හිඳ - කෙළවී ඇති දූපත ගැන, එක පැයක්, "සහෝදරවරුනි, සහෝදරියනි, කළ හැක්කේ කුමක් දැයි අපි සොයා බලමු" කියා සංවාද කරන වාමාංශික නිමේෂයක් ගැන ආශ්වාදනීය සිහිනයක් අපට තිබේ. "ඕවා හීන විතරයි" කියා යමෙක් කිවුවොත් අප කියන්නේ " ඒක කරන්න බැරිනම් ඔය ඔක්කොම හීන තමා " කියාය. ඉතින්, දැන්, "යතුර කොයි කුමාර අතේද?" යන්න පැරණි ප්‍රශ්නයකි. අලුත් ප්‍රශ්නය මෙයයි. "යතුර කොතනද?" මේ කතාව එතැනින් පටන් ගනිමු.

ලංකාවේ දේශපාලන ප්‍රකාශන විසින් දහස් වාරයක් උත්කර්ෂයෙන් අසන ලද ප්‍රශ්නයක් නැවත අසමින් අලුත් ප්‍රකාශනයක් ආරම්භ කිරීමට සිදු වීම හාස්‍ය ජනකය. පිළිතුරු නොමැති ප්‍රශ්න බිත්තියේ ඒ කොන මේ කොන හැපෙමින් යළි - යළිත් දෝංකාර නැංවීම නොවැළක්විය විය හැකි වීම ද, අරුමයක් නොවේ. මෙවන් 'අතිශය' සම්ප්‍රධායික ප්‍රශ්න සමාජයක් හමුවේ පැන නගින්නේ ම සම්ප්‍රධාය අභෝයෝගයට ලක් වන මොහොතවල්වලමය. ඉතිං යතුර කා අතේද යන ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට යතුර සැඟ වී ඇති 'රහස්' පෙට්ටගම හැර ගැනීමට තවත් යතුරක් අවශ්‍ය වේ. ඒ රහස් පෙට්ටගම සඟවා ඇති කාමරය හැර ගැනීමට තවත් යතුරක් අවශ්‍ය වේ. මෙසේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයම දොරවල් ඇරීමේ ඉතිහාසයක් වෙනුවට, යතුරු සෙවීමේ ඉතිහාසයක් වී ඇති විට අපි තවත් යතුරක් සොයමින් වෙහෙසෙමුද?

තවදුරටත් 'ඇහැට පෙනෙන දේවල්' තුළ අපට දකින්නට ඇත්තේ මොනවාද? පෙ.ස.ප. අර්බුදයක - ජ.වි.පෙ ගල් වෙයි - වි.කො.ස වාෂ්ප වෙයි. ඒ අනුව මේ සැරසෙනුයේ 'යතුර අපේ අතේ' යැයි කියමින් උඩපැන නටන 'ළමා දේශපාලනයෙන්' තීරණාත්මක ලෙස විතැන් වී එක්සත් වාම කතිකාවතක් තුළ ගැටලුව ලෙහා ගැනීමටය. තවදුරටත් යතුර සහ අත පිළිබඳව පරණ උපමාව වලංගු නොවේ.

"ග්‍රාමිස්චි මෙසේ පෙන්වා දෙන පරිදි, 'දේශපාලන අර්බුදය වූ කලි චිරාගත යම්කිසි දේශපාලන නායකත්වයක් පසුපස ගමන් කරන්නට පුරුදු වී සිටි සමාජ පන්තීන් තවදුරටත් එසේ ගමන් නොකරන විට' ඇති වන තත්වයකි. උදාහරණයක් වශයෙන් ඉතාලි කම්කරු පන්තිය චිරාගතව පිළිගෙන සිටි නායකත්වය කොමියුනිස්ට් හා සමාජ වාදී පක්ෂවල නායකත්වයයි. ඉතාලි ධනේශ්වර පන්තිය චිරාගතව පිළිගෙන සිටි නායකත්වය ක්‍රිස්තියානි ලිබරල් පක්ෂයේ නායකත්වයයි. 1922 - 1923 දේශපාලන අර්බුද සමයේ දී එක් අතකින් කම්කරු පන්තිය කොමියුනිස්ට් හා සමාජවාදී නායකත්වයෙන් ගැල වී යන අතර අනෙක් අතින් ධනේශ්වර පන්තිය ක්‍රිස්තියානි ලිබරල්වාදී පක්ෂයේ නායකත්වයෙන් ගිලිහී යයි."

ලංකාවේ දේශපාලන යථාර්තය තුළ අප මේ ගත කරන දේශපාලන මොහොත යනු මෙසේ කම්කරු පන්තියේ නායකත්වය ගිලිහී ගිය මොහොතක් පමණක් නොව පන්තියක් ලෙස කම්කරු පන්තියේ පන්ති සවිඥානිකත්වය ද ගිලිහී ගිය මොහොතකි. එබැවින් වාමාංශික හෘද සාක්ෂියට මොන තරම් දරා ගත නොහැකි කරුණක් වුව ද අපට අනුව තවදුරටත් ලංකාවේ කම්කරු පන්තියක් සවිඥානිකව නොපවතී. පසුගිය දා ඉතා අවාසනාවන්ත ලෙස නිමාවට පත් වූ සමස්ත ලංකා වැඩ වර්ජනයේදී මේ බව පැහැදිලි විය. දැන් ඒ වෙනුවට වාමාංශය හමුවේ ඇති අභියෝගය නම් නිර්ධනයා නිර්ණය කර ගැනීමයි. එනම් කම්කරුවා සවිඥානගත කිරීමයි.

මෙන්න මේ කම්කරුවා සවිඥානගත කිරීමේ ක්‍රියාවලියට 'සද්කීර්තිමත් ඉතිහාසයකට' - සම්ප්‍රධායකට උරුමකම් කියන තමන්ගේ මිනුම් දඬු මොනතරම් බාධාකාරීදැයි වටහා ගැනීමයි.

ඒ අනුව, නිර්ධනයා නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හා කම්කරු පන්තියේ නායකත්ව භූමිකාව අතර ඇති අවියෝජනිය සම්බන්ධතාවය නූතන කම්කරු පන්ති ව්‍යාපාරයක් විසින් බරපතළ ලෙස සැලකිල්ලට ලක් කළ යුතු අංගයකි. ඒ අනුව, නායකත්වය යනු, 'කලින් වාර්තා කළ (පැමිණි) අය' යන සම්ප්‍රධාය වෙනුවට ' ක්‍රියාවලිය තුළ බිහිවන්නන් ' යන නව සම්ප්‍රධායක් බිහි කර ගත හැකිය. මල්ලිලාගෙන් තමන්ට කෙලවේය යන බියෙන් පසුවන අයියලාගේ ද, අයියලාට කෙළවීමට සිටින මල්ලිලාගේ ද, යුගය වාම ව්‍යාපාරය විසින් ඉක්මවිය යුතුය. වාම ව්‍යාපාරය තුළ පැලපදියම්ව ඇති ආයා - අප්පො (master slave) සම්ප්‍රධාය වෙනුවට මූලධර්මය (principle) වටා ගොනු වීම හුරු කළ යුතුය. ඒ අනුව, නායකයන්ව ප්‍රයෝජනයට ගෙන කැළි කසළ ලෙස ඉවත් කරන සම්ප්‍රධාය වෙනුවට මූලධර්මාත්මක එකඟතාවය වෙනස් කරමින් සංවර්ධනය කිරීම, පුළුල් කිරීම ඇරඹිය යුතුය.

පක්ෂය උත්තරීතර කොට සිතන සම්ප්‍රදාය වෙනුවට පන්තිය ප්‍රාථමික කොට මූලික කොට සිතීම හුරු කළ යුතුය. වෙනස් අදහස් නියෝජනය කරන වුන් සමඟ අත්වැල් බැඳ ගත හැකි වනුයේ එවිටය. වාමාංශික ව්‍යාපාර සිය සහෝදර වාම සංවිධාන කෙරෙහි දක්වන 'සයිකෝසීය' බිය තුරන් කර ගත හැක්කේ එවිටය.

වාම සහ කොමියුනිස්ට් පක්ෂ තුළ පවත්නා 'බොල්ෂෙවික් මමත්වය' සියුම් ලෙස විශ්ලේෂණය නොකිරීම ද තත්වයන් සංකීර්ණ කරන තවත් කාරණයකි.
බොල්ෂෙවික්වාදය යනු ම කට්ටිවාදී නොවන පුළුල්තම එකඟතාවයේ ස්වරූපයයි. එහෙත් එය ඒ අරුතින් නොගන්නේ නම්, මුග්ධතම කට්ටිවාදයේ ආරක්ෂක ස්ථානයක් බවට බෝල්ෂෙවික්වාදය පත් වීම නොවැළක්විය හැකිවනු ඇත. කොල්වින් සහෝදරයාගේ බොල්ෂෙවික් ලේනිනිස්ට් පක්ෂයේ සිට, රෝහණ සහෝදරයාගේ 'නූතන බොල්ෂෙවික් පක්ෂය' දක්වා වූ ලංකාවේ බොල්ෂෙවික් ඉතිහාසය තුළ වූ සීමා අතික්‍රමණය කරන ව්‍යාපාරය කුමක්ද? වඩා පුළුල්තම බොල්ෂෙවික් ව්‍යාපාරයක් වෙනුවෙන් පාක්ෂික අනන්‍යතාවය අත් හැරීමේ නිර්භීතභාවය ගොඩනැගෙනුයේ කොතනින්ද? ගැටලුව අවශ්‍ය ගැඹුරින්ම සලකා බලන්නේ නම්, එහි පතුලේ ඇත්තේ පක්ෂය ධනේශ්වර මැතිවරණ අර්ථයෙන් ගැනීම පිළිබඳ කාරණාවක් නොවන්නේද? එහෙත් සැබෑ බොල්ෂෙවික් පක්ෂයක් අනන්ත මුහු වීම් හා අනන්ත විභේදනයන් මඟින් පරික්ෂාවට ලක්වුවක්ම විය යුතුය. තරමක් සෞන්දර්යාත්මක ප්‍රවේශයකින් පවසන්නේ නම්, දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාත්, ටිල්වින් සිල්වා සහෝදරයාටත්, සේනාධීර ගුණතිලක සහෝදරයාත්, විජේ ඩයස් සහෝදරයාත්, එකම මේසයක වාඩි වී වාමාංශික ව්‍යාපාරයක් පිළිබඳව කෙටුම්පත් කිරීමකට සූදානම් වනුයේ කවදාද? එවන් විප්ලවීය භාවිතයක් වෙනුවට ආරක්ෂණවාදී භාවිතයක් වම කෙරෙන් ප්‍රදර්ශනය වනතාක් දුරට පන්තිය මහපාරට කැඳවීම 'සදා සොඳුරු සිහිනයක්' ම වනු ඇත.

ඉල්ලීම් 21 ව්‍යාපාරයේ සිට හෝ 53 හර්තාලයේ සිට ෆුටා අරගලය දක්වා සෑම අරගලයක්ම ගල කන්ද මුදුනටම තල්ලු කරගෙන ආ පසුත් පහළට නොහෙළා අතහැර ගැනීමේ වාමාංශික සිසිෆස් භාවිතය අප වටහා ගන්නේ කෙසේද? ස්වාධීනත්වය සඳහා භීතිකාවක් ලෙසය. නො එසේ නම්, සංසාර චක්‍රය කුඩු කිරීමට වාමාංශය තුළ වූ භීතිකාවක් ලෙසය. මන්ද, ඉන් ඔබ්බට ඇති කලින් තීරණය කළ නොගෙන අනාගතයට මුහුණ දීමට සුළු ධනේශ්වර භීතිකාවෙන් අප ඔද්දල් වී ඇති නිසාවෙනි.

"ඉල්ලීම් 21 ව්‍යාපාරය වටා ජනතා බලවේග පෙළ ගැසීම ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවට එරෙහිව කම්කරු සටන් ඇවිළෙන තත්වයක් තුළ අනතුර පෙර දුටු ධනපති පන්තිය. සම සමාජ පක්ෂය හා ශ්‍රී.ල.නි.ප අතර හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම ලංකේය පන්ති ව්‍යාපාරයේ තීරණාත්මක කඩ ඉමක් සනිටුහන් කරනු ලැබීය." ( සිරිතුංග ජයසූරිය - හරය පුවත්පත )

මේ අනුව, එන්.එම් සහෝදරයා 1964 දී ඉල්ලීම් 21 පාවා දීම ඔහු තුළ වූ පුද්ගල නරකක් නිසා වූවක් නොව ලෝක පරිමාණයෙන් සිදු වූ වාමාංශික ව්‍යාපාරයේ පීලිපැනීමක් ද පමණක් නොවේ. එය මිනිස් සන්තානයේ වන ස්වාධීනත්වය සඳහා භීතිකාව තුළ ද වටහා ගත යුතුය. ඒ අවබෝධය වාමංශයට මග හැරී තිබෙනුයේ පන්ති පිළිබඳ කතිකාව එහි සරාර්තයෙන්ම නොගෙන පන්ති ඌනිත වාදයක් ලෙස ගැනීමෙනි. එලෙස පන්තිය පිළිබඳ අදහසට පටු වූ විට සමාජ වෙනස්වීම් වමට මඟහැරී යයි.

මෙම ලියමනේ දීම අප කලින් භාවිතයට ගත් ග්‍රාමිස්චිගේ උපුටා දැක්වීම අනුව කම්කරු පන්තියේ සම්ප්‍රදායික නායකත්වය ගිලි හී යමින් පවතින මොහොතකි මේ. ඒ අනුව, දැන් අවශ්‍ය වනුයේ පන්ති විඥානය කම්කරු පන්තිය අතරට ගෙන යාම පිළිබඳ කතිකාවකි. එනම් කම්කරු පන්තියේ නායකත්වය පිළිබඳ කාර්යයකි.

ලෝක වාමාංශික ව්‍යාපාරයේ අනු ඛණ්ඩයන් ලෙස ලාංකීය වාමාංශික ව්‍යාපාරය ලංකාවේ ( එනමින් මේ මොහොතේ පවත්නා ජාතික රාජ්‍යයේ ) හා ලෝකයේ දේශපාලනය යළි අලුතින් කියවිය යුතුය. ධනේශ්වර පන්තියේ හා සම්ප්‍රධායික වාමංශයේ බලපෑමෙන් ගිලිහි යන හා ස්වාධීන වෙමින් පවතින නව බලවේග වාම දේශපාලනයන් තුළ සක්‍රීය කිරීමට නම් පැරණි අගතියෙන් මිදුන අලුත් දැක්මකින් ලෝකය යළි සිතියම් ගත කළ යුතුය.

එනම්, 'මේ මොහොතේ යතාර්ථය පිළිබඳ' වාමාංශය තුළ සිදුවන කතිකාවකි. විසම්මුතීන් ප්‍රතිවිරෝධතා බහුල මේ කතාබහට මුහුණ දීමට වාමාංශය දක්වන නිර්භය භාවයම අලුත් මිනිස් සමූහයක් වම වෙත ආකර්ෂණය කර ගැනීමට හොඳ ප්‍රවේශයකි.

මෙන්න මේ අලුත් මිනිස් සමූහයන් විසින් අනාගත දිනයක දී ගොඩනගන්නා වූ සම්බන්ධතා ජාලය හැඳින්වීමට 'මිනිස් සමාජය' යන්න සුදුසු වනු ඇත.

ඒ අනුව, කම්කරු පන්තියට බැහැරින් විප්ලවීය විඥානය ගෙන යා යුතුද - කම්කරු පන්තියෙන් ස්වයං සිද්ධව විප්ලවීය විඥානය පැන නගිනවාද වැනි කුකුළා ද බිත්තරය ද පන්නයේ ප්‍රවේශයන්ගෙන් මිදී ප්‍රශ්නය වෙත අවතීර්ණ විය යුතුය. ජයග්‍රහණ සියයක්, සටන් සියයක් යන ඇල් මැරී ඇති සටන් පාඨය ජීවමාන යථාර්ථයක් තුළ සජීවී කළ හැක්කේ එමඟින් පමණක් බව අපි විශ්වාස කරමු.

| කැරැල්ල - 2013 සැප්තැම්බර් - 01 වැනි කලාපය |

| විමල් කැටිපෙආරච්චි| මහේෂ් කුමාර| ප්‍රියන්ත ලියනගේ |