රන්ජන් බල්ටියක් ගසා කේක් එක උඩට පැමිණ සිටියි !

රන්ජන් බල්ටියක් ගසා කේක් එක උඩට පැමිණ සිටියි !
එක්තරා චිත්‍රපටයක තවත් නළුවකු සමග එළු පැටියෙක් සොරකම් කරගෙන රන්ජන් එයි. මගදී පොලිස් මුරපොලක ඔවුන්ව නවත්වාගෙන ප්‍රශ්න කරනු ලැබේ. එළු පැටියා දරුවකු සේ තුවායක ඔතාගෙන වඩාගෙන සිටින්නේ රන්ජන් ය. ``තමුසෙලා කොහෙද මේ අවේලාවෙ යන්නෙ ?`` පොලීසිය අසයි. ``මල්ලිට සනීප නැහැ සර්.. බෙහෙත් ගේන්න යනවා``. රන්ජන් තුවායෙන් එතූ එළු පැටියාව පපුවට තුරුළු කරගනිමින් කියයි. එවිට ම එළු පැටියා ``බැහෑ`` යනුවෙන් එළු ශබ්දය නඟයි. එවිට රන්ජන් මෙසේ කියයි. ``බෑ කියල බෑනෙ මල්ලි, බෙහෙත් ගන්න එපැයි.. යං යං ඉක්මනට බෙහෙත් ගමු.`` සිනමා ශාලාවේ සිනහව ගිගුම් දෙයි. 


රන්ජන් රාමනායක සිංහල සිනමාවේ වීරයාගේ චරිතයට කෙතරම් ආශා කළත්, ඔහු රඟපෑ වීර චරිත අපට පෙනෙන්නේ හොලිවුඩ් හෝ බොලිවුඩ් චරිතවල ව්‍යාජ අනුකරණ ලෙස හෝ ඒ දෙකේ තුනේ ම බාල මික්ස් එකක් ලෙසයි. ඇත්තට ම රන්ජන් ඔහුගේ හොඳ ම හැකියාවන් පෙන්නුවේ හාස්‍යොත්පාදක හෙවත් `විකට චිත්‍රපට` වලයි. විශේෂයෙන් ම රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ සමහර චිත්‍රපටවල බන්දුට ටෙනීට වඩා හොඳට විහිළු කරන්නේ රන්ජන් ය. කොමඩිවලට ටයිමින් අත්‍යවශ්‍ය ය. ඒ කියන්නේ හරි වෙලාවට හරි විහිළුව කළ යුතු ය. රන්ජන්ගේ කොමඩි ටයිමින් ගින්දර ය. 


රන්ජන්ව සුපර් හීරෝ කෙනෙක් කරන්නට රන්ජන් ම හැදූ චිත්‍රපටි බොහොමයකින් එළියට ආවේ කොමඩි ටච් එකකි. එවැනි එක්තරා චිත්‍රපටයක, ෆ්‍රෙඩී සිල්වාගේ පුතා ජනේෂ් සිල්වා, (තවත් පැරණි විකට නළුවෙක් වූ) එල්.එම්.පෙරේරාගේ පුතා චතුර පෙරේරා සහ තවත් නළුවෙක් විශාල මන්දිරයක් තුළ පිහිටි, පිහිනුම් තටාකයක් අසල, උපන්දින සාදයක් පවත්වන්නට ලක ලැහැස්ති වෙයි. උපන්දින කේක් ගෙඩිය කපන්නට සියලු කටයුතු දැන් සූදානම් ය. මේ පිරිස දුෂ්ඨ සල්ලිකාරයන් ය. ඔවුහු කේක් ගෙඩිය කපා කෑල්ලක් කන්නට හදන විට ම.. ඒ මොහොතේ, ඒ මහා මන්දිරයේ විශාල ගේට්ටුව අසලට වීරයා හෙවත් රන්ජන් එයි. 

සාමාන්‍ය මිනිසකුට පනිනු තියා සිතන්නටවත් අපහසු උසින් යුත් ගේට්ටුව දෙස බලන රන්ජන්, `ඉයෝව් ඉයෝව්` ශබ්ද දෙකක් සමග රවුම් දහසයක් විතර අහසේ කැරකෙන දැවැන්ත බල්ටියක් ගසා අර මහා මන්දිරයේ වහලටත් උඩින් පැමිණ පිහිනුම් තටාකය අසලට ම අහසින් පහත් වන්නේ උපන්දින කේක් එක දෙබෑ වන සේ ඔහුගේ විශාල දෙකකුල් පතිත වන පරිද්දෙනි. ඒ මොහොතේ ඇඟ පුරා අයිසින් ගාගෙන සිටින රන්ජන් දෙස බලා චතුර පෙරේරා මෙසේ කියයි. ``යකෝ, වෙන එවුන් ගෙදරකට එනකොට කේක් එකක් අරන් එනවා.. මූ අපි කකා ඉන්න කේක් එක උඩට එනවා..`` ප්‍රේක්ෂකාගාරය හූ කියමින් සිනහ සයුරේ ගිලෙයි. 


ඒ සිනාසෙන්නේ චිත්‍රපටයේ වීරයාට බව එහි අධ්‍යක්ෂවරයා ද වූ රන්ජන් දැනසිටියා ද නැද්ද වැටහෙන්නේ නැත. සාමාන්‍යයෙන් නළුවන්, තමන් ම හදන චිත්‍රපටිවල තමන්ව ම ජෝක් කරගන්නේ නැත. ප්‍රේක්ෂකාගාරයේ සතුට වෙනුවෙන් අවංකකමට හෝ මෝඩකමට ඉතා කලාතුරකින් එය කරන්නේ රන්ජන් වැනි ම කෙනෙකි. මුළු මහත් දේශපාලන ප්‍රේක්ෂකාගාරය ම රන්ජන්ට සිනාසෙන මේ මොහොතේ මට ඒ සිනමා දර්ශනය මතක්වීම වැළැක්විය නොහැකි ය. රන්ජන් බල්ටියක් ගසා කේක් එක උඩට පැමිණ සිටියි ! වීරයාගේ භූමිකාව කරන්නට ආ රන්ජන් අයිසින් නාගෙන චොර වී ඇත. හැබැයි කේක් ගෙඩිය සී සී කඩ ය. එය වටේ සිටිය උන් කොර වී ඇත. `ඉයෝව් ඉයෝව්` !!


| විමල් කැටිපෙආරච්චි |