ගෝඨා චින්තනය - (02 කොටස)  බිත්තියේ ඇද කපරාරුවෙන් හැදීමේ උත්සාහයෙන් පසු..

ගෝඨා චින්තනය - (02 කොටස)  බිත්තියේ ඇද කපරාරුවෙන් හැදීමේ උත්සාහයෙන් පසු..
අපි මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස ලිව්වේ ඔක්තෝබර් 08 වැනිදා. 2019 ඔක්තෝබර් 09 වැනිදා, ගෝඨාභය, අනුරාධපුරයේදී, `ගෝඨා චින්තනය යනු කුමක්ද?` කියල මැනවින් පැහැදිලි කෙරුවා. තමන් බලයට පත්වුවහොත් ඊට පසුදිනම `සිරගත වී සිටින රණවිරුවන්` වහාම නිදොස් කොට නිදහස් කරන බව ඔහු පැහැදිලිව කිව්වා. එයා `රණවිරුවන්` කියන්නේ විවිධ අපරාධ කරලා හිරේ ඉන්න සැකකරුවන් පිරිසකට. ඒ අපරාධ සාධාරණීකරණය කරන කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට එවැනි `නිදොස් කොට නිදහස් කිරීමක්` ප්‍රාර්ථනා කරන්න බැහැ. අනෙක් අතට, කිසියම් සැකකරුවෙක් `නිදොස් කොට නිදහස් කිරීමේ` ආයතනික බලය තියෙන්නෙ අධිකරණයට. ඒ මුකුත් තකන්නේ නැතිව මම ආවොත් `අපරාධ සැකකරුවන් නිදොස් කොට නිදහස් කරනව` කියන මානසිකත්වේ මැතිවරණයට පෙර ඉන්න කෙනෙක් බැරිවෙලාවත් දිනුවොත්, අවුරුදු සීයක් දෙසීයක් පැරණි ගෝඨා චින්තනය මොන වගේද කියල ජීවිතයෙන් අත්විඳ බැලීමේ ස්වර්ණමය අවස්ථාවක් රටක් හැටියට අපට උදා වෙනවා.

ඉතින් පලමු ලිපියෙන් අපි පැහැදිලි කළේ ගෝඨා චින්තනය යනු දේශපාලන විරුද්ධවාදීන්ට මරණය දක්වා ඕනෑම පීඩනයක් ගෙන ඒමේ ආකල්පය කියලයි. අපි එහෙම කියල පැය විසිහතරක් යන්න කලින් ඔහු ඒ කාසියේ අනෙක් පැත්ත මොකක්ද කියලා අපට පෙන්නුවා. ``විරුද්ධවාදීන්ට මරණය! මිනීමරුවන් වුවත් තමන්ගේ දෘෂ්ඨියට පක්ෂපාතීන්ට ජීවිතය!!`` ඒ තමයි ගෝඨා චින්තනයේ සටන් පාඨය. 2015 පැරැද්දුවේ මෙන්න මේ චින්තනය. හැබැයි 2015 ආණ්ඩුව ඒ චින්තනය හුරතල් කෙරුවා. අවුරුදු හතරහමාරක් ගෝඨා චින්තනය හුරතල් කරලා හුරතල් කරලා ඡන්දයක් ළං වෙනකොට ගෝඨා පරද්දන්න වරෝ කියල වත්ත වටේ දුව දුව කෑගැහුවට ඒක නිකම්ම නිකං ගොන් පාට් එකක් විතරයි. අපි මේ ලිපි පෙළ ලියන්න හේතුවත්, මෙවර ජනාධිපතිවරණය යටින් අවතාරයක් වගේ සැරිසරන මාතෘකාව `බුදු අම්මෝ ගෝඨා පැරදවීම` කියන කාරණාවම තමයි.

අපි හොඳටම දන්න දෙයක් තමයි, විකල්පයක් ගැන හිතන අයත් යටි හිතින් ආයෙත් හිතනවා, මාර වැඩේ වෙන්නේ ගෝඨා ආවොත්, ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ කියලා.  අනික ඉතින් රෙද්දක් ඇඳන් කොහොමද සජිත්ට ඡන්දය දෙන්නේ කියලත් ඒ යටි හිතින්ම හිතනවා. හැබැයි ඒ යටි හිත අමතක කරන කාරණාව තමයි ගෝඨා චින්තනය හුරතල් කරපු වත්මන් ආණ්ඩුවේත් සජිත් හිටියයි කියන එක. ඒ වගේම ගෝඨා චින්තනය සම්බන්ධයෙන් බැරෑරුම් විවේචනයක් කිසිම වෙලාවක සජිත් ගෙනාවේ නැහැයි කියන එක. විවිධ නඩුහබවලට පැටලිච්ච ගෝඨා වත්මන් ආණ්ඩුව එක්ක යටින් ඩීල් දානකොට - විශේෂයෙන්ම රනිල් එක්ක ඩීල් දානකොට සජිත් කටක් හෙල්ලුවේ නැහැයි කියන එක අර විකල්ප යටි සිතට අමතක වෙනවා. බැරිවෙලාවත් සජිත් දිනුවොත් මෙච්චර කල් දාපු ඩීල් නවත්තපු තැන ඉඳන් ආයෙත් ඔන් වෙනවා මිසක් වෙන මොකක්වත් වෙන්නෙ නැහැ නේද කියන සරල සත්‍යය `ගෝඨා`ට තිබෙන `භය` විසින් පට්ට විදිහට යටපත් කරනු ලබනවා. 

එහෙම මොහොතක තමයි අන්තිම මොහොතේ ගෝඨාව සටනෙන් බ්ලොක් කරන නඩු ටික එන්නේ. අන්න එතකොට ඒකාධිපතියන්ට විරුද්ධ ජනතා හෘදය සාක්ෂියට පවන් ගහනව වගේ හැඟීමක් එනවා. 2015 ඒකාධිපතියන් පන්නපු මිනිස්සුන්ට පොඩි සතුටක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ සතුට පට්ට අදේශපාලනිකයි. ඒක හරියට බිත්තියෙ ඇදේ කපරාරුවෙන් වහන්න හදනවා වගේ බොළඳ උත්සාහයක්. බිත්තිය ඇද වෙන්නේ ගඩොල් පේළිය හරියට තිතට ලඹේට බඳින්නෙ නැති වුණාම. කපරාරු කරන හීනි සිමෙන්ති තට්ටුවෙන් බිත්තියෙ ඇදේ යවන්න හදන එක විකාරයක්. අවුරුදු හතරහමාරක් බිත්තිය ඇදේට බැඳලා තියෙද්දී අන්තිම මොහොතේ කපරාරුවෙන් හරි - අඩු ගාණේ හුණු ගානකොට හරි බිත්තියෙ ඇදේ යයි කියල ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට බලන් ඉන්න වීම ඛේදවාචකයක්. තේරුම් ගන්න ඕන දේ තමයි මේ වත්මන් ආණ්ඩුවේ  `බබාලා` බිත්තිය ඇදේට බැන්දේ නොදන්නා කමටවත් දුර්වල කමටවත් නෙමෙයි අපි මේ කතාකරන `ගෝඨා චින්තනය` බබාලගේත් යටි හිතේ තියෙන චින්තනය නිසා. `ගෝඨා චින්තනය` එක්ක ඒ ගොල්ලන්ගේ හිතේ රහසිගත ආශාවක් සහ සම්මුතියක් තියෙන නිසා. 

``යමක් වේවි කියල තිබුණු එකම `වියහැකියාවේ බලාපොරොත්තුව` වුණේ මෛත්‍රී - රනිල් ප්‍රතිවිරෝධය ඇතුලේ ගෝඨා චින්තනය පසුබස්සන්න ඉඩක් ලැබෙයි කියන දේශපාලන ප්‍රාර්ථනාව විතරයි`` කියල මේ ලිපි පෙළේ පළමුවැන්නෙන් අපි කිව්වා. ඇත්ත වශයෙන්ම නියම යූඑන්පිය අපට දකින්න ලැබුණේ නැත්තෙත් මෛත්‍රී - රනිල් ප්‍රතිවිරෝධය නිසාම තමයි. තනි බලයක් එක්ක අවුරුදු දහයක් ආණ්ඩු කරන්න දුන්න නම් `ගෝඨා චින්තනයේ  කොලපාට වර්ෂන් එක` දැකගැනීමේ මහඟු අවස්ථාව උදාවෙන්න නියමිතව තිබුණා. 2015 විවේචකයන් මොනවා කිව්වත් එය මෙරට දේශපාලනයේ (1994 වගේම) සුවිශේෂී මොහොතක් වෙන්නෙ අන්න ඒ නිසයි. සම්ප්‍රදායික පක්ෂවල න්‍යාය පත්‍ර අර්බුදයට ගිහින් ප්‍රජාතාන්ත්‍රික පුරවැසි න්‍යාය පත්‍රය උඩට ආව මොහොතක් ඒක. හැබැයි ජනවාරි අටෙන් පස්සේ ආයෙත් පටන් ගත්ත සම්ප්‍රදායික දේශපාලන ගේම් එක්ක දේශපාලනය කළමණාකරණය කරන්නේ කොහොමද කියන එක ඒකාධිපතිවාදයට විරුද්ධ ජන ගොනුවට පැහැදිලිවම මගහැරුණා. මෙතනින් එහාට අඩියක් තියන්න නම් ඔක්කොටම කලින් ඒක පිළිගන්න ඕනේ කියල අපි හිතනවා. ඒකාධිපතියන්ට විරුද්ධ ජන මතවාදය මංකොල්ල කන එක නතර කරන්නේ කොහොමද කියල තව ඉස්සරහට කතාකරමු.


(මතු සම්බන්ධයි.)
| ඇටමැස්සා ලියයි |