විල්පත්තුවට අලුත් ආණ්ඩුවෙන් අලුත් මායිමක් !

විල්පත්තුවට අලුත් ආණ්ඩුවෙන් අලුත් මායිමක් !

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත‍්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෝසමක් මගින් ඊයේ (25) දැනුම් දුන්නේය. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරිම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ රිට් පෙත්සම මෝසමක් මඟින් කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ එලෙස දැනුම් දුන්නේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තරයේ අක්කර විශාල ප‍්‍රමාණයක් එළිකොට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබු මෙම පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අකමැත්ත ප‍්‍රකාශ කිරිම හේතුවෙන් එම නඩුව යළි විමසිමට අභියාචනාධිකරණය පසුගිය අවස්ථාවකදී තීරණය කෙරිණි.ඒ අනුව මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේ 2012 ඔක්තෝබර් 10 වැනි දා ප‍්‍රකාශ කළ අංක 1779 / 15 දරණ ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරන බවයි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කොට ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයා, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කොට තිබේ.

පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටින්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එළිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුවන බවයි. එමෙන්ම විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර ඇති බවත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මැදිහත්වීම යටතේ සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් මඟින් පවුල් 1500 ක් පමණ මේ වන විටත් එම වනරක්ෂිතයට අයත් රක්‍ෂිත ප‍්‍රදේශය තුළ නැවත පදිංචි කරවා ඇති බවත් සඳහන් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන්නේ අනවසර නැවත පදිංචි කිරීම් හේතූවෙන් ජාතික පාරිසරික පනත උල්ලංඝනය වන බවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍ය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක් බවත් පවසන පෙත්සම්කරුවෝ පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම්, නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.