ගෝඨා,සජිත්,අනුර ප්‍රතික්ෂේප කළ විග්නේශ්වරන්ගේ ඉල්ලීම් 13 !

ගෝඨා,සජිත්,අනුර ප්‍රතික්ෂේප කළ විග්නේශ්වරන්ගේ ඉල්ලීම් 13 !

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ විසින් පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යන ජනාධිපතිධුර අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම් 13කින් යුත් යෝජනාවලිය එම පක්ෂවල ජනපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. යාපනේ සරසවි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් සකස් කොට ඊට අත්සන් තබා තිබුණි.

ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය) නියෝජනය කරමින් එහි නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණ නියෝජනය කරමින් නායක ටී. වී. විග්නේශ්වරන්, ටෙලෝ පක්ෂය වෙනුවෙන් සෙල්වම් අඩේකලනාදන්, ඊ. පී. ආර්. එල් එෆ් පක්ෂය වෙනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ප්ලොට් පක්ෂය නියෝජනය කරමින් ධර්මලිංගම් සිද්ධාර්ථන් යන පාර්ශව ඊට අත්සන් තබා තිබේ.

යාපනය සරසවි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන්, දෙමළ දේශපාලන පක්ෂ පහක් ඉදිරිපත් කළ ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලිය:

1. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජාතිකත්වය හා ස්වෛරීභාවය පිළිගනිමින් සහ ජාත්‍යන්තර නීතිය යටතේ ඔවුන්ගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය පිළිගනිමින් ඒකීය පාලන ක්‍රමය වෙනුවට ෆෙඩරල් ක්‍රමය මත පදනම් වී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම.

2. යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ/හෝ ජාත්‍යන්තර බේරුම් කිරීමේ විනිශ්චය සභාවේ (International Arbitration Tribunal) අධීක්ෂණය යටතේ පුළුල්, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම.

3. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

4. දෙමළ "දේශපාලන සිරකරුවන්" සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

5. සුදුසු ජාත්‍යන්තර ක‍්‍රමවේදයක් යටතේ බලහත්කාර අතුරුදන් කිරීම් හේතුවෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීම.

6. රජයේ හමුදා අත්පත් කරගෙන සිටින උතුරු - නැගෙනහිර ජනතාවට අයත් පෞද්ගලික හා රජයේ ඉඩම් සහ ගොඩනැගිලි සියල්ල නිදහස් කොට වහා ම යළි එහි පදිංචි කරන ක්‍රියාදාමයක් ආරම්භ කිරීම.

7. රජයේ අනුග්‍රහය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුකරනු ලබන "සියලු සිංහලකරණ, බෞද්ධකරණ සහ සිංහල ජනාවාසකරණ වැඩසටහන්" වහා ම නවතා දැමීම.

8. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සැලසුම් කර තිබෙන "සිංහල ජනපදකරණ ව්‍යාපෘති" සියල්ල වහා ම නවතා දැමීම.

9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර තිබෙන වන්නි ප‍්‍රදේශයේ "සිංහල ජනාවාස" ඉදිකිරීමේ සැලසුම් නවතා දැමීම.

10. පුරාවිද්‍යා, වනජීවි, වන සංරක්ෂණ සහ රජයේ දෙපාර්තමේන්තු මගින් ඉඩම් සහ ආගමික භූමි පවරා ගැනීම වහා ම නැවැත්වීම. එසේ දැනට පවරාගනු ලැබ ඇති ඉඩම් සහ ආගමික භූමි නිදහස් කිරීම.

11. විදේශගතව වෙසෙන ලාංකිකයන් යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් සිදු කරන සෘජු ආයෝජන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධක ඉවත් කිරීම.

12. උතුරු නැගෙනහිර රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමේදී එම ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම.

13. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත්කොට එම දෙපළාතේ සියලු මූල්‍ය සහ සංවර්ධන කටයුතු මෙහෙයවීම පිණිස අදාළ ප‍්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවීම.

අපේ යෝජනා පිළිගත්තේ නෑ ! මට, මේ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියල කියන්න බෑ !! - විග්නේෂ්වරන්

ගෝඨා,සජිත්,අනුර එක්ක මුහුණට මුහුණ සාකච්ඡා කරන්න කැමතියි ! - විග්නේශ්වරන්