වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිට ඇප !

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිට ඇප !

ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල අධිකරණට භාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවකු ලෙස නම් කර තිබෙන 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කල බවට වන චෝදනා ලබා සිටි වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබිණි.

මේ සම්බන්ධයෙන් අද (03) සිය නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා කියාසිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 සහ 34 යන වගන්ති යටතේ පොලිසිය ඉල්ලා සිටින ආකාරයේ වරෙන්තුවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය අදාල සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළාය.