නිශාන්ත සිල්වාට බය කවුද ?

නිශාන්ත සිල්වාට බය කවුද ?

නොවැම්බර් 25 වැනිදා නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. ඊට පෙර දිනයේ, එනම් නොවැම්බර් 24 වැනිදා ඔහු විදේශගත විය. ඒ ලබන 02 දා සිට සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට සිටි තම දරුවා සහ බිරිඳ ද සමග ය. දැන් ඔහු ද්‍රෝහියෙකි. පාවාදෙන්නෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම දෙපාර්තමේන්තුවේ රහසිගත ලිපි ගොනු රැසක් ද රැගෙන පළා ගිය බවට ද චෝදනා එල්ල වේ. ඒවා මගින් ජාත්‍යන්තරය තුළ රටේ කීර්තිනාමය පළුදු කිරීමේ උත්සාහයක ඔහු නිරත වනු ඇති බවට ද අනාවැකි පළ විය. රාජ්‍ය නොවන සංවිධානයක් නිශාන්ත සිල්වාට විදෙස්ගත වන්නට නොව, රටින් පනින්නට උදව් කර ඇති බව ද සඳහන් විය.

යළිත් ජාත්‍යන්තරයේ බැබළීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බෙල්ලන්විල පන්සලේදී කිව්වේ ‘අර නිශාන්ත සිල්වා කියන නිලධාරියා ජිනීවා පැනලලු‘ යනුවෙන් ය. ජිනීවා බිල්ලෙකු මවා පෑ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, විපක්ෂයේ සිටියදී ජිනීවා වලට ලියුම් ලියූ බව ද අමතක කළ යුතු නැත. දැන් යළිත් ජිනීවා යනු බිල්ලෙකි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ය. ඒ කියන්නේ යළිත් මානව හිමිකම් ගැටළු මතු වීමට නියමිත ය.

ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී දින කිහිපයකට පසුව ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති මෙරට පුද්ගලයන් සහ ඔවුන්ගේ ලිපිගොනු පිළිබඳ විස්තර ලබාගැනීමට පැහැරගත් කණ්ඩායමට අවශ්‍ය වී ඇත. නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්ත වීසා ලබාදීම සම්බන්ධයෙන් ද ඇයගෙන් ප්‍රශ්න කර තිබේ. එසේ ප්‍රශ්න කිරීමේ බලය ඇත්තේ කාටද? ඒ කියන්නේ යළිත් ලංකාව ජාත්‍යන්තරයේ බැබළීමට පටන්ගෙන තිබේ. ගත වූයේ දින කීයද?
නිශාන්ත සිල්වා අපට අනුව ජීවිතාරක්ෂාව පතා විදේශගත වීමෙන් පසු, ඔවුන්ට අනුව රටින් පැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 690 කට විදෙස්ගත වීම තහනම් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍ය වාර්තා කළේ වෙනත් සංඛ්‍යාවක් වුවද, සත්‍ය සංඛ්‍යාව මෙය වේ. ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොළ කාර්යාලයට මීට අදාළ තොරතුරු යොමු කර තිබේ. එමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනාවරණය වී ඇති බව පිරිසකගේ තර්කය විය. තවත් පිරිසක් තර්ක කළේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි කඩිනම් තීරණ ගැනීමට සිදු වන බවත්, නිශාන්ත සිල්වා මෙන් ද්‍රෝහීන් වන්නට තවත් නිලධාරීන් සිටිය හැකි බවත් ය.

කෙසේ වෙතත් මේ වාදය අස්සේ ඇත්ත යටපත් වෙමින් තිබේ. ඒ අධිකරණ නියෝගයක් ලබා නොගෙන මෙසේ පුරවැසියන්ට විදේශගත වීම තහනම් කළ හැකිද යන්නයි. ආණ්ඩුව මේ කර ඇත්තේ අධිකරණයට ඉහළින් යෑමකි. ආගමන-විගමන නිලධාරීන්ට අනුව මේ අත්තනෝමතික නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ගැටළුව වන්නේ ඔවුන්ට ය. එසේ වුවහොත් ඔවුන් රටේ නීතිය කඩන්නේය. මූලික අයිතිවාසිකම් පෙත්සම් රැසක වගඋත්තරකරුවන් වන්නට සිදුවන්නේ ඔවුන්ට ය.

වැඩක් කරගන්නට නොහැකි වීම

ඒ වුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නම් කියන්නේ මේ ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති විධිවිධාන නිසා වැඩක් කරගන්නට නොහැකි වී ඇති බවයි. ඒ කියන වැඩේ කුමක්ද?

එසේම කිසියම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව මෙසේ පුද්ගලයන්ගේ විදේශගත වීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට තමන්ට හැකියාව ඇති බවත්, එසේ වුවත් කිසිවකු අත්අඩංගුවට ගන්නේ නම් ඊට අධිකරණ නියෝගයක් අවශ්‍ය බවත් ආගමන-විගමන දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට ස්ථාන මාරුවක් ලබා දීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයන් අතර විය. ඒ දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ පෞද්ගලික සහකාර ලෙස ය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු, ඊට වඩා එක් උසස්වීමක් ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාර කිරීම යනු කුමන ආකාරයේ පළිගැනීමක් ද? මේ කියන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය දැරුවේ ශානි අබේසේකර ය. මේ මාරුවේ තරම ගැන කියන්නට එපමණක් වුවද සෑහේ.

හදිසි ස්ථාන මාරුව

2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ නීතිවිරෝධී අගමැති ධුරයට පත් කෙරුණු ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව ද මේ ආකාරයේම ස්ථාන මාරුවක් කඩිමුඩියේ සිදු කෙරිණි. ඒ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යැවීමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ බලය අවභාවිත කරමින් ඔහු සහ ඔහුගේ පවුලේ සමීපතමයන් සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වී කළ බවට සැක කෙරෙන බරපතළ අපරාධ රැසක් විමර්ශනය නිශාන්ත සිල්වාට භාර වී තිබිණි. 2009 ජනවාරි 08 දින දෙහිවල, අත්තිඩියේ ගුවන් හමුදා ක`දවුර පෙනෙන මානයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භකයා මෙන්ම එහි ප‍්‍රධාන කර්තෘවරයාද වූ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් දෙහිවලදී පැහැරගෙන ගොස් මල්වාන ප‍්‍රදේශයේදී බරපතළ ලෙස පහර දී තර්ජනය කිරීම, රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සහ කැපුම් තුවාල සිදු කිරීම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම වැනි සිදුවීම් වලට අදාළ විමර්ශන ඒ අතර විය.

එසේම 2008 - 2009 කාලයේදී නාවික හමුදාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද බවට අධිකරණය ඉදිරියේ නඩු විභාග වන කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයන් 11 දෙනාගේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද්දේද මේ පොලිස් පරීක්ෂකවරයා ය. ත‍්‍රීකුණාමලය නාවික හමුදා ක`දවුරේ ගන්සයිඞ් නමින් වෙනම ප‍්‍රදේශයක පැහැරගෙන ගිය තරුණයන් ර`දවාගෙන සිටි බවත්, කොළඹ පිට්ටු බම්බුව නම් ස්ථානයේදීද මේ තරුණයන්ට වධ-හිංසා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මීට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, පසුව අනාවරණය වී තිබුණේ ඔහු තමන්ගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළ නිලධාරියාගෙන් පළිගැනීම ස`දහා මේ පැමිණිල්ල කළ බවත්, ඔහුද මේ පැහැරගැනීම් වලට වක‍්‍රව දායක වී ඇති බවත් ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා විසින් ලබාදුන් ප‍්‍රකාශයකින්ද මේ කරුණු සනාථ කර තිබේ. දැනට ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරය දරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මේ සිද්ධියේ සැකකරුවන්ට ආරක්ෂාව ලබා දී ඇති බව සාක්ෂි සහිතව කොළඹ, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසු එවකට එහි මහේස්ත‍්‍රාත්වරිය වූ ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ ගැන ප‍්‍රකාශයක් ලබාදෙන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය යටතේ විදේශ ගත වීමටද රවීන්ද්‍ර විජේගුණරත්න කටයුතු කළේය. කෙසේ වෙතත් නිශාන්ත සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී බලය විහිදෙව්වාට බය වූයේ නැත. යළිත් මේ පිළිබ`දව අවස්ථා දෙකකදී අධිකරණයට වාර්තා කෙරිණි.

එල්ටීටීඊ ප්‍රබන්ධය

මෙසේ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ කණ්ඩායම තමන් පස්සේ පන්නන නිසා එයින් ගැළවීමට රවීන්ද්‍ර විජේගුණරත්න නම් නාවික හමුදා නිලධාරියා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ධුරය අවභාවිතාවේ යෙදවීය. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහභාගි වන ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පවා මේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට කෙ`දිරි ගා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. වර්තමානයේදී මෙන්ම, එහිදී ද නිශාන්ත සිල්වාට එල්ටීටීඊ කතාවක් ගොතන්නට ඔහු කටයුතු කර තිබිණි.

මේ ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වා තිබුණේ 2018 නොවැම්බර් 15 දින ය. 16 වනදා පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ඔහුට පවසා ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීත් කීමෙන් පසු නිශාන්ත සිල්වා මාරු නොකොට කුමක් කරන්නේද යනුවෙනි. ඉන්පසු මේ කේලම ජනාධිපතිවරයාගේ කණට ගෙන ගොස් ඇති මාණ්ඩලික ප‍්‍රධානියා, ඒ හරහා පොලිස්පතිට නියෝගයක් නිකුත් කරවා ගත්තේය. මේ හරහා ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාද සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත බරපතළ ලෙස උල්ලංඝනය කර තිබිණි. සැකකරුවන් ආරක්ෂා කළ බවට චෝදනා එල්ල වී ඇති මෙවැන්නෙක් එළියේ තැබිය හැකිද? එහෙත් උන්මත්තකයන්ගේ දේශයේ ඊට එරෙහිව කිසිවක් සිදු නොවීය. හරියටම දැන් වගේම ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි ස`දහා මාරු කෙරුණේ ඒ අනුවය. සේවා අවශ්‍යතා මත යැයි පොලිස්පතිවරයාගේ මාරු කිරීම් පණිවුඩයේ ස`දහන්ව තිබිණි.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයාට කරන්නට හැකිය. ඊට ඉහළ මාරුවීම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිසම හරහාය. ඒ ද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමෙන් පසුවය. ඊට පෙර දේශපාලනඥයන්ගේ වුවමනාව මත නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් වැන්නවුන් පවා මාරු කෙරිණි. ලතීෆ්ව බදුල්ලෙන්, මොණරාගලට, යළිත් බදුල්ලට ආදී වශයෙන් මාරු කෙරුණේ එම දිස්ත්‍රික්ක දෙකේ සිටි දේශපාලනඥයන්ගේ පෞද්ගලික ව්‍යාපාර වලට ඔහුගෙන් එල්ල වූ තර්ජනය නිසා ය.

නිශාන්ත සිල්වා අභියාචනයක් මගින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද තමන්ගේ මේ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස කොමිසමෙන් ඉල්ලීය. ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය. එහිදී විශේෂ කරුණු ගණනාවක් කොමිසමේ අවධානයට යොමු වී තිබිණි.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ගෙනයන ප‍්‍රචාරය අසත්‍යයක් බවත්, එල්ටීටීඊය සිදු කළ අපරාධ 60 කට අධික සංඛ්‍යාවක විමර්ශන මේ නිලධාරියා අවසන් කර ඇති බවත්, ඔහු අපරාධවලට හෝ වෙනත් නීතිවිරෝධී ක‍්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇති බවට කිසිදු සාක්ෂියක් නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන්නේ යැයි කොමිසම පොලිස්පතිවරයාට ඒ මොහොතේ දැනුම් දී තිබිණි.

ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ඕනෑ එකක් වෙච්චදෙන් කියා අහක බලාගෙන සිටීමත්, පහළ නිලධාරීන් ඉහළ නිලධාරීන්ට හො`ද වැඩේ කීමත් අපේ රටේ රාජ්‍ය සේවයේ සුලබ ව දැකිය හැක්කකි. එහෙත් නිශාන්ත සිල්වා වෙනුවෙන් මේ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා පවා පෙනී සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිගේ ලිපිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී.සෙනෙවිරත්න විසින් තම පහළ නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත වැදගත් ලිපියක් යැවීය. ‘‘ඔබගේ වාර්තාවේ ස`දහන් පරිදි වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් ආර්.සී.විජේගුණරත්න මහතා විසින් ................... පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සිදු කර ඇති චෝදනාව, සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චෝදනාවක් බව ඉතා පැහැදිලිව පෙනී යයි. මේ චෝදනාව කිසිදු විමර්ශන අංශයකින් හෝ බුද්ධි අංශයකින් ඉසව්ගත නිලධාරියාට එරෙහිව මේ වන තුරු ඉදිරිපත් නොවී තිබීමෙන්ම මාගේ ස්ථාවරය මනාව තහවුරු වන බව දන්වා සිටිමි.

තවද වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී .......................... පුද්ගල පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකි.‘‘ එම ලිපියේ එසේ සඳහන් විය.

අහිම්සා මෛත්‍රීට යැවූ ලිපිය

ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ අත්තනෝමතික ස්ථාන මාරුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලිපියක් යැව්වාය. එය ලසන්තගේ පමණක් නොව, ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු රාජපක්ෂ පාලන කාලයේ ඝාතනය කරන ලද, අතුරුදන් කරන ලද මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයන් 44 දෙනකුගේ හ`ඩයි. ඔවුන් එකාවන්ව ඉදිරියට පැමිණ කියන්නට සූදානමින් සිටියේ මෙවැනිම කතා රැසකි.

‘2009 වසරේ ජනවාරියේ වවුනියාවෙන් අහිංසක තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන අමු අමුවේ මරා දමා අනුරාධපුරයේදී ඔවුන්ගේ සිරුරු පුළුස්සා අළුකර දමන්නේ, මගේ පියාගේ අපරාධය සිදු කළ ස්ථානයේ සාක්ෂි වශයෙන් ඔවුන්ගේ මෝටර් සයිකලය තබන්නටය. තමන්ට පහරදීමට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව පිළිබ`ද තොරතුරු ඇතුළත් මගේ පියාගේ අවසන් වචන සහිත සටහන් පොතද කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන පරිදි පොලිස් නිලධාරීන් විසින් විනාශ කර ඇත. නුවරඑළියේ කාර්මිකයෙකු යුද හමුදා බුද්ධි අංශයේ ටි‍්‍රපොලි ක`දවුරට අයත් සෙබළෙකු තම හැ`දුනුම්පත භාවිත කර මගේ පියාට එල්ල වූ ප‍්‍රහාරය සංවිධානය කිරීම ස`දහා සිම් කාඩ්පත් මිලට ගත් අයෙකු ලෙසත්... සියලු බල තිබූ ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික නියෝගයක් මගින් මේ ටි‍්‍රපොලි ක`දවුර භාරව සිටි අණදෙන නිලධාරියාව වහාම ක‍්‍රියාත්මක වන පරිදි විදේශ තානාපති සේවයක ස්ථානගත කළ බවට සාක්ෂිකරුගේ ප‍්‍රකාශය සටහන් කරගත්තා පමණි, නිශාන්ත සිල්වා නම් නිලධාරියා මාරු කර ඇත.‘
ඒ සියලු බලපෑම් නිසා නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව අවලංගු කෙරිණි. ඒ ජාතික පොලිස් කොමිසමෙන් ය. මේ අවස්ථාවේදී ද යළිත් ඔහුගේ එල්ටීටීඊ සම්බන්ධකම් ගැන මාධ්‍ය වාර්තා පළ වේ. ඔහුගේ නම්, වාසගම් ගැන ද්වේෂ සහගත වාර්තා පළ වේ. වෙනසකට ඇත්තේ මේ අවස්ථාවේ පෙර බලපෑම වෙනුවට, බහුතරය දැඩි නිහඬතාවයක සිටීමයි. එම නිසා ඔවුන්ගේ වැඩේ පහසු වී තිබේ.

කීත් නොයාර් විමර්ශනය

නිශාන්ත සිල්වා විසින් කරන ලද විමර්ශන වල, විශේෂයෙන්ම කීත් නොයාර් පැහැරගෙන යෑමට අදාළ විමර්ශනයේ තොරතුරු මගින් ඒවාට සම්බන්ධ පුද්ගලයන් කර මුලටම හිර වේ. මීට පෙර අවස්ථා ගණනාවකදී ඒ විමර්ශනයට අදාළ ව අධිකරණයට වාර්තා කර ඇති දුරකතන වාර්තා අප පළ කර තිබේ.

01. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ අංක ..... දරන දුරකතනයෙන් එවකට පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න භාවිතා කළ ..... අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.36 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයා භාවිතා කළ දුරකතනයෙන් රාත‍්‍රී 11.39 ට ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිතා කළ ..... අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත.
02. ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා වෙත මේ ගැන දැනුම්දීමෙන් පසු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක ..... දරන දුරකතනයට රාත‍්‍රී 11.51 ට දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවත්.
03. ඉන්පසුව ජාතික බුද්ධි ප‍්‍රධානී භාවිතා කළ ..... දරන දුරකතනයෙන් රාත‍්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බි‍්‍රගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති ..... අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත.
04. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහු භාවිතා කරන ලද ..... අංක දරන දුරකතනයෙන් ති‍්‍රපෝලි ක`දවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ ..... දරන දුරකතනයට රාත‍්‍රී 11.47 ට ඇමතුමක් ලබාගෙන ඇත. මේ වනවිට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප‍්‍රදේශයේ තිබී ඇති අතර, ත‍්‍රිපොලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප‍්‍රදේශයේ තිබී ඇත. (කීත් නොයාර්ව රැගෙන ගොස් ඇත්තේ මල්වාන ප‍්‍රදේශයට බව හෙළි වී තිබේ.)
05. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ති‍්‍රපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත (දැනට රිමාන්ඩ්භාරයේ සිටින) විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ ..... අංක දරන දුරකතනයට රාත‍්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප‍්‍රදේශයේ ය. (එනම් කීත් නොයාර් පැහැරගෙන ගිය බවට හෙළි වී ඇති ප‍්‍රදේශයයි.)

තර්ජනයේ තරම !

මේ කරුණු අනාවරණය වීම තර්ජනයකි. ඒවා අනාවරණය කළ පුද්ගලයා තර්ජනයකි. එය තනි මෙහෙයුමක් නොවේ. ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකගේ දායකත්වය ලැබී ඇත. එම නිසා සමස්ත දෙපාර්තමේන්තුව ම ප්‍රතිව්‍යුහගත කරන්නට තීරණය කර තිබේ. එවිට සියල්ල අවසන් ය.

නිශාන්ත සිල්වා පසුගිය ආණ්ඩුව කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ද සාපේක්ෂව වඩා සාර්ථක විමර්ශන සිදු කළ නිලධාරියෙකි. ඒ අතර එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර කොල්ලුපිටිය, පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය උදාහරණයකි.

එසේම නිශාන්ත සිල්වාට එරෙහිව ද නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවක් ඇත. එම මූලික අයිතිවාසිකම් නඩුවෙන් නිශාන්ත සිල්වා ඇතුළු කණ්ඩායම පරාජයට පත් වී, වන්දි ගෙවන්නට ද නියම වී තිබේ. වැඩකට නැති, සාක්ෂි නැති එල්ටීටීඊ සහ දෝහී චෝදනාවක් කරේ තියාගෙන දුවන මාධ්‍ය සහ පාර්ශ්ව මේ වෙලාවේ ජනතාව රවටන්නට වැඩ කළාට, කිසිදු මූලික අධ්‍යයනයක් හෝ කර නැත.

නිශාන්ත සිල්වා පරම ශුද්ධවන්තයකු කරන්නට අපට අවශ්‍ය නැත. එහෙත් ඔහු සාපේක්ෂව වැඩක් කළ, දක්ෂ නිලධාරියෙකි. කුමන තත්ත්වයක් යටතේ හෝ මේ ආකාරයේ අත්තනෝමතික පළිගැනීම් සහ චෝදනා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි ය. බලයට යට කොට, මිනිසුන් වැනසීමට විරෝධය පළ කළ යුතුය. වරද, වරද ලෙස දැකිය යුතුය. අපරාධය, අපරාධය ලෙස දැකිය යුතුය.

| ශාලික විමලසේන | ලංකා ඉරිදා සංග්‍රහය |