ඡන්දෙත් ඉවර වුණා. මොකද වුණේ? අනුර පිළිතුරු දෙයි !

ඡන්දෙත් ඉවර වුණා. මොකද වුණේ?  අනුර පිළිතුරු දෙයි !

ඡන්දෙත් ඉවර වුණා. මොකද වුණේ?
ඇත්තටම අපි මීට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. කෙසේ වුණත් තීව්‍ර ගැටුමක් තියෙන වෙලාවක ජනාධිපතිවරණයක් අපිට අවාසියි. හැබැයි ඒ අවාසිදායක තත්වය මධ්‍යයේ හෝ අපි මීට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. ඒ ප්‍රතිඵලය අපිට ලැබිලා නැහැ.

ජයග්‍රාහී කඳවුරේ අය කියන්නේ අනුර දිසානායකට ඇපත් නැතිවුණා කියලා?

ජනාධිපතිවරණය කියන්නේ මගේ පුද්ගලික ජයක් හෝ පරාජයක් නොවෙයි. ඉදිරියට බලාගන්න පුළුවන් ඇත්තටම දිනලා තිබෙන්නේ කවුද? පරාජය වෙලා තියෙන්නේ කවුද? කියලා. අපි රටට ඉදිරිපත් කළේ රට මුහුණ දී තිබෙන අර්බුදය සහ එයින් රට මුදාගත හැකි මාවතක්. ඒක රටේ ජනතාව පිළිගෙන නැහැ. එක පැත්තකින් මේක දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ පසුබෑමක්. අපිත් සමත් වෙන්න ඕන වෙනවා, තවදුරටත් කෙටිකාලීන රැලි, බුබුළුවලට යට නොවෙන ස්ථිරසාර දේශපාලන අධ්‍යයනයනක් සහිත සංවාදයක්, සාකච්ඡාවක් ජන ප්‍රජාව හා ගොඩනඟාගන්න.

අපිට තව තවත් ජනතාව දැනුම්වත් කරන්න වෙනවා. නැත්නම් ඕන මොහොතක මේ බුබුළුවලට ජනමතය දෝලනය කරන්න පුළුවන්. අපේ පැත්තෙන් අවශ්‍ය තරම් දේශපාලන සංවාදය සිදුවෙලා නැති බව පිළිගන්න වෙනවා. ඒ අතින් මේක අපේ පසුබෑමක් කියලා අපි පිළිගන්නවා.

ගෝල්ෆේස් රැලියත් එක්ක ආපු රැල්ලේ හැටියට බොහෝ දෙනා සිතුවේ මීට වඩා යමක් ලැබෙයි කියලා නේද?

මැතිවරණ වේදිකාව බැලුවම මෙතෙක් අපේ පක්ෂ ඉතිහාසය පුරා අපිත් එක්ක එක් නොවුණු, පැතිරුණු කණ්ඩායමක් තමයි හිටියේ. හැම ක්ෂේත්‍රයකම නිපුණතාවයක් තිබුණු ප්‍රගතිශීලි පිරිසක් තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටියේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සාහිත්‍යවේදීන්, කලාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සමාජ ප්‍රගමනය වෙනුවෙන් පෙනී හිටපු පිරිසක් තමයි එතන හිටියේ. ඒ අතින් බැලුවම මෑත කාලයේ ලංකා දේශපාලන ඉතිහාසයේ ගොඩනැඟුණු පුළුල්තම ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කර ගන්නට අපිට පුළුවන්කම ලැබුණා.

ඒ බලවේගය ජනතාවට ආමන්ත්‍රණයේදී රට ගොඩනැගීමට ඒ ඒ ක්ෂේත්‍රවල තිබෙන දැක්මක් වැඩපිළිවෙළින් ඒ සඳහා හැකියාව ඇති කණ්ඩායමක් ඉන්න බවත් ජනතාවට කිව්වා. නමුත් මැතිවරණයේ තිබුණ ගැටුම හමුවේ ඒවා ඒ තරම් ප්‍රබල සාධක බවට පත්වුණේ නැහැ. එය අබිබවා වෙනත් සාධක සමාජය බාරගත් බව තමයි මේ ප්‍රතිඵල හරහා පෙන්නුම් කරන්නේ. අපි පුළුල්ම ජන බලවේගය ගොඩනැගුවට ඒ වටා ජනතාව එකතුවෙන්න මැළිකමක් දන්වලා තිබෙනවා.

ඡන්දේ ජයග්‍රාහකයා ගෝඨාභය රාජපක්ෂ. ජයග්‍රහණය ගැන ඔබේ දැන් අදහස මොකක්ද?

මේ මැතිවරණයේදි ආකාර දෙකකින් ආරක්ෂාව පිළිබඳව මතයක් ප්‍රකාශ වෙලා තිබෙනවා. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිංහල සමාජය තුළ අනෙකුත් ජන කණ්ඩායම්වලට විරෝධයක් මෙන්ම ආරක්ෂාව කියන කාරණය උඩට ආවා. ඒ තුළ පෙන්නුම් කළේ අනෙකාට එරෙහිව ආරක්ෂාවීමේ වුවමනාවක්. ඒ වගේම දෙමළ ජන සමාජය කෙරෙහි සජිත් ප්‍රේමදාස දක්වපු ප්‍රතිපත්තිමය කාරණ, ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් හෝ වැඩපිළවෙළට වඩා ඔවුන්ගේ ආරක්ෂාව තමයි ප්‍රමුඛ වුණේ. ඒ නිසා දෙපාර්ශ්වයම ආරක්ෂාව පිළිබඳව කාරණය දෙයාකාරව උඩට ගත්තා. ඒවා තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිඵලයේ තියෙන සංයුතිය.

ඡන්දෙට කලින් ඔබලා ගෝඨාභය ගැන පුන පුනා කිව්වේ ඒ කඳවුරෙන් එන්න පුළුවන් දුර්වලම අපේක්ෂකයා ඔහු බව.

ඇත්තටම මේ මැතිවරණය පුද්ගල සාධකය අභිබවා ගිය දේශපාලන ප්‍රවාහයක් බවට පත්වී තිබෙනවා. ඒ ප්‍රවාහයට කවර වර්ගයේ කෙනෙක් ආදේශ වුණත් ජයග්‍රහණය ලැබීමේ තත්ත්වයක් තිබුණා. පැවැති ආණ්ඩුවේ වසර හතරහමාරක අසාර්ථකත්වයත් බොහෝ දුරට බලපෑවා. රට තුළ ඇතිවෙලා තිබුණු අරාජිකත්වය මේ ප්‍රවාහයේ සාධකයක්. ඒ නිසා පුද්ගලයෙකුගේ හොඳ නරකවලට එහා ගියපු දේශපාලනයක් එතන ක්‍රියාත්මක වුණා. ඒකෙ සමස්ත ප්‍රතිඵලය තමයි ගෝඨාභයගේ ජයග්‍රහණය.

ජනතා විමුක්ති පෙරමුණ ඇරෙන්න ජාතික ජන බලවේගය වටා එකතු වුණු අනිත් පිරිස කොච්චර ඡන්ද ප්‍රමාණයක් ද, එකතු කරලා දීලා තිබෙන්නේ ඔබට?

ඔවුන් එකතු කරපු ඡන්ද ප්‍රමාණයකට වඩා වැදගත් වෙන්නේ ඔවුන් ඊට එකතු කරපු අගය. ඒක නිසා අංක ගණිතමය ආකාරයට මේ එකතුවීම දිහා බලනවාට වඩා ඔවුන් එකතු කළ දේශපාලනමය ගුණයයි වැදගත්.
සමහරු විවේචනාත්මක අදහසක් විධිහට කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ කාඩර් එක අමතක කරලා ලිබරල්වාදී නඩයක් එක්ක යන්න ගිහින් ඔබලා වරද්ද ගත්තා කියලා. ඒ අදහස අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. යම් දේශපාලන පසුබෑමකදි තම තමන් ඉන්න දේශපාලන අස්ථානයන්ට අනුරූපව එකිනෙකා විවිධ අර්ථ දැක්වීම් කරනවා අපි කිසිසේත්ම අපේ දේශපාලනය අන්තවාදයට, ජාතිවාදයට, ආගම්වාදයට යටත් කරන්නේ නැහැ. අපි සැබෑම දේශප්‍රේමීන්. අපිට දේශප්‍රේමිත්වය පිළිබඳ තියෙන්නෙත් පුළුල් අර්ථකථනයක්.

දේශප්‍රේමය කියන්නේ මුස්ලිම් සමාජයට එරෙහිව සිංහල සමාජය උසිගැන්වීමත්, දෙමළාට එරෙහිව සිංහලයා පෙළගැස්වීමවත් නොවෙයි. අපිත් එක්ක එකතු වුණේ එහෙම ක්‍රියාකරන පිරිසක් නොවෙයි. ඔවුන් ප්‍රතිගාමිත්වයට එරෙහිව වැඩකරන, ප්‍රගතිශීලි, සමාජ ක්‍රියාධරයන්. මේ එකතුවීම පිළිබඳව බොහෝ දෙනා විවිධ අර්ථකථන දිලා තිබුණු බව අපි දැක්කා.

ඔබලා මීට පෙර ජනාධිපතිවරණවලදී කාගේ හරි සහායට වැඩකරලා, මේ සැරේ ඔබටම ඡන්දෙ දෙන්න කියලා ඉල්ලුවාම ජනතාව ටිකක් අන්දමන්ද වුණාද කියලත් සමහරු ප්‍රශ්න කරනවා..?

අපි ඒ ඒ අවස්ථාවල ගනු ලැබූ දේශපාලන තීන්දු තීරණ කෙටිකාලීනව රටත් ජනතාවත් පැත්තෙන් ගත්තත් දිගු කාලීනව අපේ දේශපාලනයට යම් හානියක් කරලා තියෙනවා. ඒක තමයි ඔබ ඔය මතුකරන්නේ. ඒකෙ යම් බලපෑමක් මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ තියෙන බව පේනවා.

ඒ ගැන පසුතැවෙනවාද?

නැහැ. කිසිම පසුතැවීමක් නැහැ. ඒ නිශ්චිත මොහොතට අදාළව අපි ගන්නා ලද දේශපාලන තීන්දුව හරියට හරි කියන එක තමයි අපේ අදහස. ජනතාව ඒ පිළිබඳව බුද්ධිමත්ව සහ තුලනාත්මකව විමසලා බැලුවා නම් එහි ඇත්ත දේශපාලන අර්ථය අවබෝධ කරගන්න පුළුවන්. අපිත් ඒක ජනතාවට ඒත්තු ගන්වන්න අසමත් වෙලා තිබෙනවා කියලා අපි පිළිගන්නවා.

ගෝඨාභය දකුණේදී ඡන්ද මල්ල වැඩිකර ගනිද්දී, සජිත් උතුරේදී ඡන්ද මල්ල වැඩිකර ගන්නවා. පොඩි බෙදුමක් පෙන්නුම් කරනවා නේද මේ හරහා නැවත වතාවක්?

රටක් එකතු වෙනවා කියන්නේ භූමියෙන් එකතුවීම නොවෙයි. රට තුළ ඉන්න විවිධ ජාතීන්, ආගම්, සංස්කෘතීන්වලට අයත් ජනතාවගේ එකතුවෙන් තමයි රට එකතුවෙනවා කියන්නේ. එතකොට තමයි රටක් පවතින්නේ. ජනතාව බෙදෙන්න බෙදෙන්න රටකට එකට පවතින්න බැහැ. ගෝඨාභය සහ සජිත් දෙන්නගෙම ඡන්ද ඉදිකරන සංඥාව ඒ තරම් යහපත් එකක් නොවෙයි. පත්වුණු පාලකයෝ තමන්ට ඡන්ද ලබාගන්න මැතිවරණ වේදිකාවේ මොනතරම් ජාතිවාදය වැපුරුවත්, අන්තවාදී කෝණයන්ට තල්ලු වුණත් දැන් ආණ්ඩු පාලනයේදි ඔවුන් ඊට වඩා පරිස්සම් වෙන්න ඕන.

ජාතික ජන බලවේගය විධිහට ඔබත් උතුරු නැගෙනහිර ජනතාව ඇමතුවා. ඔවුන් ඔබට ඇහුම්කන් දීලා තියෙනවාද?

පසුගිය මැතිවරණ හා සංසන්දනය කරලා බලනකොට අනිත් දිස්ත්‍රික්කවල අපේ යම් පසුබෑමක් තිබුණත් උතුරු නැගෙනහිර පළාත්වල අපේ යම් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒත් ඒක අපි අපේක්ෂා කරපු ප්‍රතිඵලය නොවෙයි. ඒ ජනතාව අපිට සවන් දීලා තියෙනවා. බෙදුණු ජනතාව කවදා හෝ එකතු කරන්න පුළුවන් අපිට තමයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවෙලා ගෙවුණු දින කීපය ගැන අදහසක් තියෙනවාද?

ලංකාවේ බලයට පත්වූ හැම නායකයාම ආරම්භයේදී තමන් වෙනස් ලෙස පෙන්වීමට උත්සාහ කරලා තියෙනවා. සමහරු බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා වැඩ පටන් අරන් ගමන කෙළවර වුණේ කොහොමද කියලා අපිට අමතක නැහැ. ඒ නිසා අපි කලබල විය යුතු නැහැ. තීන්දුවලට එන්න. ඔහු ඔහුට ආවේණික වෙනස්කම් පෙන්නලා තියෙනවා. අපි ඒවා ඉහළ සමාජීය ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා හිතන්නේ නැහැ.

ජනප්‍රිය මතුපිට පැලැස්තරවලින් පමණක් මේ රට වැටිච්චි තැනින් ගොඩගන්න බැහැ. කොහොම වුණත් නිගමනවලට එන්න තාම කල් වැඩියි.

ඔහු ජනාධිපතිවරයා විදිහට පත්වෙලා කරපු පත්කිරීම් කීපයක් අපි දැක්කා. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ආරක්ෂක ලේකම්, කමල් ගුණරත්න වගේ අය. ඒ හරහා යම් ඉඟියක් සපයනවා ඉදිරි පාලනය පිළිබඳව. වසර ගණනාවක් අපේ රටේ ආර්ථිකය සම්බන්ධව වගකීම් දරපු කෙනෙක් තමයි පී.බි. ජයසුන්දර. අද වෙනකොට රට වැටිච්ච ආර්ථික අගාධයේ ප්‍රමාණයට ඔහු වගකිව යුතු පුද්ගලයෙක්. ආරක්ෂක ලේකම් කියන්නේ සුවිශේෂ වගකීමක්. මිලිටරි කෝණයෙන් බලලා ආරක්ෂාව ගැන හිතනවාට වඩා අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ සමාජයක් විදිහට සාමූහිකව ආරක්ෂාව සලසා ගැන්වීමක්. ඒත් මොවුන්ගේ ආරක්ෂක දෘෂ්ටි කෝණයම මිලිටරිවාදී එකක්. ඒකට යෝග්‍ය කෙනා තමයි ආර්ක්ෂක ලේකම් ලෙස ගෙනත් තියෙන්නේ. ඔහු වගකීමක් දරන්න පෙර ඇතැම් තැන්වල කරපු ආමන්ත්‍රණයන්ගේ ස්වභාවය අපි දැක්කා ඔහුගේ ඇතැම් ප්‍රකාශ ආන්දෝලයනට ලක්වුණා. සමාජය තුළ මේ සියල්ල කොයි ආකාරයට ක්‍රියාත්මක වේවි ද කියලා අපිට විමසිල්ලෙන් බලාගෙන ඉන්න වෙනවා.

යහපාලන ආණ්ඩුවේ කෙළවරවීම දකින්නේ කොහොමද?

යහපාලන ආණ්ඩුව උපතේදීම මේ විනාශය ගැබ්වී තිබුණා. මෛත්‍රී - රනිල් හවුල, රට හෝ ජනවරම පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඔවුනොවුන් අතර ගැටුමක් පවත්වාගෙන ගියා. ඇමැතිවරු තමන්ට ලැබුණු වගකීම අමතක කරලා ඇමැති ධුරවල එන්ජෝයි කරනවා අපි දැක්කා. මේ වසර හතරහමාර ඇතුලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව තමන් අසාර්ථකම ආණ්ඩුවක් කියලා ඔප්පු කළා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම විනාශකාරිත්වයකට ඉඩදීලා තමුන් ආරක්ෂාවීමේ පිළවෙතක ක්‍රියා කළා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ඉතා අවාසනාවන්ත ලෙස ජනතාවගේ අප්‍රසාදය මැද වේදිකාවෙන් බැහැලා යන්න සිද්ධ වුණා.

ඊළඟ පියවර විදියට හැමෝම ලකලැස්ති වෙන්නේ මහ මැතිවරණයට. ජාතික ජන බලවේගය මොකද කරන්නේ?

අපි විශාලම බහුජන ව්‍යාපාරය මේ රටේ ගොඩනගලා තියෙනවා. අපි සැලසුමක් රටට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ පණිවුඩය ජනතාව අතරට ගෙන යාමේදී පහළ ග්‍රාමීය ජනතාව වෙත අපි වැඩි අවධානයක් යොමුකරලා තියෙනවා. ජාතික ජන බලවේගයේ නායකයන් සියලු දෙනා ගම් මට්ටමට ගොස් යළි ප්‍රතිසංවිධානය කිරීම තමයි අපේ උත්සාහය.

පහළ ග්‍රාමීය මට්ටමට වැඩියෙන් යන්න ඕන කියලා කියන්නේ මැද පන්තිය දිනාගෙන කියලද හිතන්නේ?

ගම් මට්ටම කියනවාට වඩා ජනතාව අතරට යාම කියලා කිව්වොත් හරි. උඩ දේශපාලනය අපි අත්පත් කරගෙන තිබෙනවා. ඒත් භූමියේ දේශපාලනයට පණපොවන එක තමයි, මේ මොහොතේ වැදගත්. මැද පාන්තික ජනතාවගේ මතය නිතරම දෝලනය වන දෙයක්. ඔවුන්ට ආරක්ෂාව, විනය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වගේ ඒවා ප්‍රමුඛ වෙනවා. ඒ කොහොම වුණත් වැඩකරන ජනතා බලවේග එක්ක දේශපාලනය ශක්තිමත් කරගැනීම තමයි අපේ බලාපොරොත්තුව.

ඉදිරි මැතිවරණවලදී දිගටම ඔබලා තරග කරන්නේ ජාතික ජන බලවේගය විදිහටද?

ඔව්. එහෙම අදහසක තමයි අපි ඉන්නේ. ඒක මැතිවරණය සඳහා පමණක් නොවෙයි. දිගුකාලීන දේශපාලන පරිවර්තනයක් සඳහා ක්‍රියාකරන ව්‍යාපාරයක්.
සමහරු බලාගෙන ඉන්නවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔබලාගේ මන්ත්‍රීවරු හයදෙනාගේ සංඛ්‍යාව වැඩි වෙයිද අඩු වෙයිද කියලා.
අපි කියන්නේ අපිට විපක්ෂය දෙන්න කියලා. දැන් ජනතාව ආණ්ඩුවක් හදාගත්තානේ. ආණ්ඩුව වගේම රටක පැවැත්මට විපක්ෂයත් වැදගත්. අපේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව පිළිබඳ දැන්ම කලබල විය යුතු නැහැ. එක ඡන්දයක් ඉවර වුණා විතරයිනේ ඉදිරියේදි අපි ඒ ගැන කතා කරමු.

| සංවාදය - ඉරිදා ලංකාදීප |