ස්විස් තානාපති කාර්යාලයේ තොරතුරු පරස්පරයි ! - විදේශ කටයුතු අමාත්‍යංශය

 ස්විස් තානාපති කාර්යාලයේ තොරතුරු පරස්පරයි ! - විදේශ කටයුතු අමාත්‍යංශය

ස්විස් තානාපති නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් තොරතුරු හා සිදුවීම ඇසින් දුටුවන් සහ සී.සී.ටීවී දර්ශන, දුරකතන විස්තර යනාදි තාක්ෂණික තොරතුරු සැලකිල්ලට ගැනීමේදී අදාළ තොරතුරු අතර පරස්පරතාවක් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය සාක්ෂි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන්නැයි නිලධාරීන් ඉල්ලා සිටියද තානාපති කාර්යාලය එසේ නොකළ බවත් එම නිසා නොවැම්බර් 29 වැනිදා තානාපති කාර්යාලය විසින් පොලිසියට ලබාදුන් තොරතුරු අනුව විමර්ශනයක් සිදු නොකළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියි. එම නිසා අදාළ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා අදාළ නිලධාරිනියගෙන් සාක්ෂි ලබාගත යුතුව ඇති බව ද එමෙන්ම තවදුරටත් විමර්ශන කළ යුතු බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියි.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (1) පස්වරුවේ ස්විස් තානාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා මුණ ගැසී මෙම කරුණු දන්වා ඇති අතර මෙම පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධව පළවන තොරතුරු තහවුරු කිරීම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා තිබේ.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලය නොවැම්බර් 29 වැනිදා නිල නිවේදනයක් නිකුත්කර තිබුණි. සිදුවීම සම්බන්දයෙන් පැතිර යන සාවද්‍ය කරුණු පැහැදිලි කිරීම අරමුණු කරගෙන මෙම නිවේදනය නිකුත්කර ඇති බවත් විමර්ශන සඳහා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවත් එහි සඳහන් වේ. කෙසේවෙතත් තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තම සේවිකාවගේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසා ඇය ප්‍රශ්න කිරිමට සුදුසු තත්වයක නොමැති බවය යන්නයි.

එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

29.11.2019

2019 නොවැම්බර් 25 වැනිදා කොළඹ පිහිටි ස්වට්සර්ලන්ත තාකාපති කාර්යාලයේ ස්වදේශික සේවිකාවකගේ ආරක්ෂාවට සම්බන්ධ බරපතළ සිදුවිමක් ඇති විය. නාඳුනන පිරිසක් විසින් වීදියකදී ස්වකැමැත්තෙන් තොරව රඳවාගෙන මෝටර් රථයකට දමාගනු ලැබූ ඇයට දිගින් දිගටම තර්ජනය කරමින් බලපෑම් කරමින් තානාපති කාර්යාලයට අදාළ තොරතුරු විමසනු ලැබිණි. මෙම සිදුවීමට අදාළ සාවද්‍ය තොරතුරු ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබේ. කොළඹ පිහිටි ස්විස් තානාපති කාර්යාලය පහත කරුණු පැහැදිලි කර සිටී.

  • සිදුවීම සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලය විසින් ඉක්මනින්ම පැමිණිලි කරන ලද අතර විමර්ශන කරන්නට පොලිසියට සහ ලංකාවේ බලධාරින්ට සහයෝගය දෙනවා මෙන්ම සිදුවීමේ වින්දිතයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධව මෙන්ම ඥාතින් සම්බන්ධව අවධානය යොමුකරමින් සිටී.
  • දුර්වල සෞඛ්‍ය තත්වය නිසා වින්දිතයා ප්‍රශ්න කිරීමට තරම් තත්වයක නැත.
  • ලංකාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හා පවුලේ අය විදේශගතවීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම ස්විස් රජයෙන් ප්‍රතික්ෂේප කරන ලද බවට කෙරෙන චෝදනා සාවද්‍යවන අතර එවැනි කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්ව නැත.

 Abducting Swiss Embassy Employee