'ස්විස් තානාපති කාර්යාල නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්න' ලක් රජයට ස්විට්සර්ලන්තයෙන් නිවේදනයක් !

'ස්විස් තානාපති කාර්යාල නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්න' ලක් රජයට ස්විට්සර්ලන්තයෙන් නිවේදනයක් !

ස්විස් තානාපති කාර්යාල නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (27) නිවේදනයක් මගින් ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රඳවා ගෙන ප්‍රශ්න කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ලක් රජයෙන් ඉල්ලීම් කර තිබෙන්නේ ඒ පිළිබඳ කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

නාඳුනන පිරිසක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට පැමිණ අදාළ නිලධාරිනියට හා සේවකයන්ට, තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙසට තර්ජනය කර ඇති බවත් එය සිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයට සහ එහි සේවකයින්ට එල්ල කළ බරපතළ හා පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස ස්විට්සර්ලන්තය සළකන බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ. එමෙන්ම මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අයව දැනුවත් කර ඇති බවද එහි සඳහන්ය. වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි සිය අපේක්ෂාව බව පවසන ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිය තානාපතිවරයා එරට කැඳවූ බවයි.

මේ අතර ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ සිද්ධිය පිළිබඳ කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.