ළමා ලෝකය හැඩකල "සිබිල් නැන්දා" දිවියෙන් සමුගනී !

ළමා ලෝකය හැඩකල "සිබිල් නැන්දා" දිවියෙන්  සමුගනී !

මෙරට ප්‍රවීන හා ජ්‍යෙශ්ඨ චිත්‍ර ශිල්පිනියක් වන කලා කීර්ති‘ සිබිල් වෙත්තසිංහ අද (1) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ  ඇය 92 වන වියෙහි පසුවිය.

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාල මහතාගේ "නවමඟ" පස්‌ වන ප්‍රමාණයේ කියෑවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත් කළාය. වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වසර හැටකට වැඩි කාලයක්‌ ළමයින් උදෙසා චිත්‍ර කතා නිර්මාණය කරන්නීය. එහිදී ඈ විසින් නිර්මාණය කරනු ලැබ ඇතිසිංහල, ඉංග්‍රීසි ග්‍රන්ථ සංඛ්‍යාව දෙසීයකට අධිකය.

ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මැටි ගෙදර ළමයි , දුවන ළමයි, අන්දරේ,සූත්තර පුංචා, මල්ලිටයි මටයි, කුඩ හොරා වැනි ළමා කෘති ගනණාවක් රචනා කර ඇති අතර දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතියද  රචනා කරමින් ගිනස් වාර්තා පොතටද එක්විය.

දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් “වොන්ඩර් ක්‍රිස්ටල්” හෙවත් “පුදුම පළිඟුව” ළමා කෘතිය ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වූ අතර ඇය විසින් රචිත කතාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමට යොමු කිරීම මෙම කෘතියේ විශේෂත්වය වේ.