රනිල්ට දිනන්න බැහැ ! සමීක්ෂණ වාර්තා අනුව සජිත් ඉදිරියෙන් !! මංගල දිගටම සටනේ

රනිල්ට දිනන්න බැහැ ! සමීක්ෂණ වාර්තා අනුව සජිත් ඉදිරියෙන් !! මංගල දිගටම සටනේ

රනිල් වික්‍රමසිංහ විසින්ම කැඳවන ලද සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රාහී අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. වෙබ් අඩවියක් සමග කළ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරයි. ඔහු තවදුරටත් මෙසේ ද පවසයි.

''එක්සත් ජාතික පක්ෂයත් සමග මගේ දේශපාලන ගමන ආරම්භ කරපු දිනයේ සිටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙනවා දකින්නට මට විශාල ප්‍රාර්ථනාවක් තිබුනා ඒක ඇත්ත. ඒවගේම අදත් ඇත්ත වශයෙන්ම කියනවා නම් එතුමා මේ රටේ ජනාධිපතිවෙනවා නම් අන් සියල්ලට වඩා සතුටු වෙන්නේ මම.

මොකද රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ අද අපේ දේශපාලන පිටියේ සිටින බුද්ධිමත්ම දේශපාලඥයා හැටියට මම බය නැතුව කියනවා. ඒ විතරක් නෙවෙයි එතුමාට රට ගැන නියමාකාර දර්ශනයක් තියෙනවා. රට දියුණු කරන්නට විශාල උවමනාවක් තියෙනවා. ඒවගේම එතුමාගේ ආර්ථික දර්ශනය, එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය, එතුමාගේ සමාජ අගැයීම්. සෝෂල්ස් වැලියුස් පවා මමත් අගය කරන ඇගයීම් සහ දර්ශනයක් හැටියටයි මම දකින්නේ.

පසුගිය වසර 30 තුලදී දේශපාලනයේදී මම ඉගනගත්ත දෙයක් තමයි ප්‍රාර්ථනාව කියන්නේ එක දෙයක්, තිත්ත ඇත්ත කියන්නේ තව දෙයක්. විශේෂයෙන්ම මට වුණත් මේ රටේ ජනාධිපතිවෙන්නට ඕනතරම් සිහින තිබුණා. තියනවා. මම හිතනවා අන් සියල්ලට වඩා හොඳ ජනාධිපතිවරයෙක් මේ රටේ මට වෙන්න පුළුවන් කියලා. නමුත් මම කොයිතරම් හිතුවත් මගේ මිත්‍රයන් මා වෙනුවෙන් කොයිතරම් ජනාධිපති වෙයි කියලා ප්‍රාර්ථනා කරත් මේ රටේ ජනාධිපතිවරණයක් දිනන්න තරම් ඡන්ද මට ගන්නට බැහැ.

ඇත්තවශයෙන්ම තිත්ත ඇත්ත තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත්ම විශිෂ්ඨ දේශපාලඥයෙක් වුණත්, 2020 මැතිවරණයේදී එතුමාට දිනන්නට බැහැ. මේක මම කියන්නේ නිකන් ආවට ගියාවට නෙවෙයි. අපි දන්නවා හැම මැතිවරණයකදීම අපි සමීක්ෂණ කරනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටම සමීක්ෂණ කරන ඒ සමාගම මේ වෙනකොටත් කරන ලද සමීක්ෂණ අනුව පැහැදිළිවම අපට පේනවා තියෙන තත්වය මොකක්ද කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඡන්දයට ඉදිරිපත් වෙන්නටත් ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා පෙන්වීම තුළින් මේ වතාවේ එක්සත් ජාතික පක්ෂය ජයගන්නට නම් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා විය යුතුමයි කියන දේ තමයි පෙනී යන්නෙ.

මේක මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක කිසිම තරහක් හෝ විරෝධතාවයක් උඩ නොවෙයි, නමුත් දේශපාලනය අපි දිනන්න ඕනේ.
විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට වසර 24 කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් පත්කරගෙන ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමේ ඉතාමත්ම හොඳ අවස්ථාවක් තියෙන්නේ. ඇත්තවශයෙන්ම ජයග්‍රහණය අතේ තියාගෙන පරාජය කරා යන්නට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.``

අදාළ වීඩියෝව මෙතැනින්.