නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ් !

නාකොටික් නිලධාරීන් යළි රිමාන්ඩ් !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අද (14) එම නඩුව කොළඹ අතිරේක ප්‍රියන්ත ලියනගේ ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් කියා සිටියේ එම නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කර සිටින උදාර සම්පත් නැමැත්තා සමග එක්ව සැකකාර නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. කෙසේවෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනා අතරින් 9 දෙනෙකුට එරෙහිව මේ වනවිට සීඝ්‍ර ලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්තේ යැයි සැකකරන එක්තරා රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට අදාළ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ එහි කළමනාකාරවරයාට නියෝග කළේය.