ශරීයා නීතිය අපිට එපා ! මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය විය යුතුයි !!- කාන්තා සංවිධාන

ශරීයා නීතිය අපිට එපා ! මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය විය යුතුයි !!- කාන්තා සංවිධාන

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට නීති සංශෝධන කළ යුතු බව මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායමේ (MPLRAG) සාමාජිකා නීතිඥ අර්මීසා ටීගල් කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ඊයේ (06) පැවසුවාය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණි. තවමත් මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ කාන්තාවන්ට වෙනස් ලෙස සලකන විධි විධාන අන්තර්ගතව ඇති බව නීතිඥ අර්මීසා ටීගල් පෙන්වා දුන්නාය. සමාජයෙන් සහ රජයෙන් මුස්ලිම් දැරියන්ට හා කාන්තාවන්ට සහනයක් නොමැතිබවත් ඔවුන් තෙවැනි ගණයේ පුරවැසියන්ගේ තත්ත්වයට වැටී ඇති බවත් ඊට හොඳම නිදසුන තවමත් කාදි උසාවිවල විනිශ්චයකාර, විවාහ රෙජිස්ට්‍රාර්, ජූරි සභික යන තනතුරු හා කාදි මණ්ඩලයේ තනතුරු දැරීම පුරුෂයන්ට පමණක් සීමා වී තිබීම බවද ඇය සඳහන් කළාය.

මේ අතර පසුගියදා ඒකාබද්ධ යෝජනාව මගින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ අන්තර්ගත කරුණු 11 ක් සංශෝධනය කිරීමට නියමිතව තිබු අතර මුස්ලිම් කාන්තා සංවිධාන පැවසුවේ පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී නොමැති බවයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ අඩු ලුහුඩුකම් තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තමන් පසුබට නොවන බව ඒ සඳහා අධිකරණ ඇමතිවරියගේ සහය අවශ්‍ය බවත් කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසුවාය. මුස්ලිම් කාන්තාවන්ගේ ගැටලු ගැන ඇසීමට ඇති ක්වාසි උසාවි සඳහා කාන්තා කාති තනතුරු ඇති කළ යුතු බව ද කියා සිටි ශ්‍රීන් අබ්දුල් ශරූර් බීබීසී සිංහල සේවයට මෙසේ පවසා තිබේ.

"ආපහු පිරිමි කාතිලා විතරක් නම් ඉන්නේ ඒ ප්‍රතිසංස්කරණය (Reform) කරලා වැඩක් නෑ. එහෙම වුණොත් අපි ඒක ලබාගන්න වැඩ කරනවා."

"අපි මේ ක්‍රියාවලියට අවුරුදු 30කට විතර වැඩකරලා තියෙනවා. අද ඊයේ ආපු එකක් නොවෙයි. පාර්ලිමේන්තුවට තේරිලා ගිය මුස්ලිම් මන්ත්‍රීලා, සමස්ත ලංකා ජමඉයියතුල් උලමා ඔක්කොම අපිට කිව්වේ මේක ශරීයා නීතිය කියලා. මේකට කවුරුත් අත දාන්න බෑ කියලා. සමහරු අපිට තර්ජනය කළා. නමුත් මෙම නීති වෙනස් කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්."

මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයි..! අවම වයස 18..!!