ජනාධිපතිවරණයෙන් පසු MCC අත්සන් කරනවා ! - ඇමෙරිකානු තානාපති කාර්යාලය

ජනාධිපතිවරණයෙන් පසු MCC අත්සන් කරනවා ! - ඇමෙරිකානු තානාපති කාර්යාලය

මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රජය සමග අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. MCC ගිවිසුම මගින් තම රටට ශ්‍රී ලංකාවේ කිසිඳු ඉඩමක අයිතිය හෝ බදු දීමක් සිදු නොවන බවද එම නිවේදනය සඳහන් කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් සංවර්ධන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදාන ලැබීමට නියමිත බවත් ඊට අදාළ යෝජනාවට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු බවත්ය. මේ පිළිබඳව ගත් තීරණය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය අගය කරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි. MCC ගිවිසුම යටතේ වසර 05ක ප්‍රධාන ආධාර ගිවිසුම ක්‍රියාත්මක කාලය පුරාවටම අරමුදල් සපයන ව්‍යාපෘති සියල්ල ශ්‍රී ලංකාව විසින් අධීක්ෂණයට හා කළමනාකරණයට ලක් කරනු ලැබීමට නියමිත බවද එහි සඳහන් වී තිබේ.

කෙසේවෙතත් මෙම ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශව වෙතින් විරෝධය පළවිය. පසුගියදා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මෙම ගිවිසුමට එරෙහිව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උපවාසයක යෙදුණි. මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වයට සහ ආර්ථික කටයුතුවලට බලපෑම් ඇතිවන බව පවසමින් 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානය ද ඊයේ (06) කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලිපියක් බාර දුන්නේය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද මෙම MCC ගිවිසුම ගැන විවිධ මතවාද සඳහන් වෙයි. මෙම ගිවිසුමට විරෝධය දක්වන පාර්ශ්ව පවසන්නේ ගිවිසුම මගින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කර ඒ තුළට වැටෙන රජයේ සහ රජයේ ආයතන සතු ඉඩම් හඳුනාගෙන MCC ගිවිසුම මගින් පිහිටුවනු ලබන MCA - Sri Lanka නමැති පුද්ගලික සමාගමකට එම ඉඩම් නතුකර එම සමාගම මගින් සිය කූට අරමුණු සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බද්දට ලබා දීම සිදු කිරීමට නියමිත බවයි.

නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතියට බලපෑම් කෙරෙනු ඇතැයි එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. අදාළ ගිවිසුම මගින් එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය පැවරීමක් හෝ හෝ බදු දීමක් සිදු නොවන බවත් මෙමගින් අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11කට ප්‍රතිලාභ සැලසෙන බවත් එම ආයතනය සඳහන් කරයි. MCC යෝජිත ගිවිසුම මගින් ඉඩම් සහ ප්‍රවාහන යනුවෙන් ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇති අතර එමගින් රථවාහන තදබදය අවම කිරීම, කොළඹ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම, ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම යන කටයුතු පුළුල් කිරීමට කටයුතු කරන බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය එම නිවේදනයේ දැක්වෙයි.

 මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම,

මිලේනියම් චැලේන්ජ් තවත් පැත්තක් !