" මමත් ඒ යන්ත්‍රයේ දැති රෝදයක් වෙලා හිටියා. ඒත් තවදුරටත් මට එහෙම කරන්න බැහැ. "
මෙහෙම කිව්වෙ පහුගිය සඳුදා රුසියාවේ Channel one රාජ්‍ය රූපවාහිනියේ සජීවී ප්රවෘත්ති විකාශය මැද්දට - No War කියන පුවරුව අරගෙන ආව මාධ්‍යවේදිනිය - මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova).
ඔවුන් ඔබට බොරු පවසනවා යනුවෙන් එම පුවරුවේ රුසියානු බසින් ලියා තිබූ වැකිය ඉංග්‍රීසි බසින් මෙසේයි,
"No war, stop the war, don't believe the propaganda, they are lying to you here."
මෙම සිදුවීමට පෙර ඇය විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක්ද මුදා හැර තිබුණා. එහි සඳහන්වූයේ යුද්ධයට විරුද්ධව රුසියානු පුරවැසියන්ට පාරට බසින ලෙසයි.
" තව පරම්පරා දහයක් ගියත් මේ වැරදි ක්රියාවේ සාපයෙන් අපට ගැලවීමක් නැතිවෙයි " යනුවෙන් එම වීඩියෝවේ ඇය පවසා තිබෙනවා.
මරීනා 2000 වසරේ සිට එම මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති නිෂ්පාදිකාවක් විදියට සේවය කරනවා. දැඩි ලෙස රජයට හිතවාදී ප්රතිපත්තියකින් ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම තමයි මේ නාලිකාවල සේවය කරන හැම මාධ්යවේදියෙකුගෙම රාජකාරිය. ඒ කාර්යපටිපාටියට පිටින් ගිහින් ස්වාධීනව තමන්ගේ රස්සාව කරන්න මාධ්‍යවේදීන්ට හුඟක් අසීරුයි. ඔවුන් වැඩ කරන්න ඕන මාධ්‍ය හිමිකරුවන් කියන විදියට. රුසියාවෙත් දැඩි මාධ්‍ය මර්දනයක් තියෙන වටපිටාවකයි මේ මාධ්‍යවේදිනිය මෙහෙම වැඩක් කළේ.
ප්රවෘත්ති නිෂ්පාදිකාවක් වුණත් ඇයට ඕන ප්‍රවෘත්තිය ලියන්න ඉඩක් නැති වටපිටාවක ඇය ඇයගේ පණිවිඩය පුවරුවක ලියාගෙන සජීවී ප්රවෘත්ති විකාශය මැද්දට කඩා පනිනවා. ඇය ප්රවෘත්ති නිවේදිකාව කිට්ටුවටම ගියේ කැමරාවට හොඳින් පණිවිඩය පේන්න සහ ඒ පණිවිඩය රුසියානු සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ලිව්වෙ ජාත්‍යන්තරයට පණිවිඩය ගෙනියන්නයි කියලයි පසුව මේ සිදුවීම ගැන අහද්දි ඇය අදහස් දක්වලා තිබුණේ.
මේ සිදුවීම එක්ක ක්ෂණිකව ප්රවෘත්ති විකාශය නවත්වන්න channel one කාර්ය මණ්ඩලය කටයුතු කළා. ඒ ඔවුන්ගේ රාජකාරිය.
මේකෙන් පස්සෙ මරීනා මාධ්‍යවේදිනිය අත්තඩංගුවට පත්වෙලා පැය 14 ක ප්‍රශ්න කිරීමකට ලක්වුණා. අදාළ සිදුවීම සම්බන්ධව ඇයට රූබල් 30 000 ක දඩයක් නියම වූ අතර ඉදිරියේදී ඇයව සිරගත කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය මෙහෙම කිරීම පිටුපස කවුරු හෝ බලවේගයක් සිටිනවාද යනවග දිගින් දිගටම ප්‍රශ්න කළත් ඇය පවසා තිබුණේ හුදෙක් එය තමාගේ හෘදය සාක්ෂ්‍ය මත සිදුවූවක් බවයි.
රුසියානු පියෙකුගේ සහ යුක්රේන මවකගේ දියණියක් විදියට එය ඇයගේ හදවතින්ම නැගුන සංවේදනය බවයි ඇය පවසා තිබෙන්නේ.
මේ වනවිට ලොව පුරා විදුලි වේගයෙන් ඇය සිදුකළ ක්‍රියාව පැතිරී ගොස් හමාරයි. ඇයගේ ආරක්ෂාව පිළිබඳ පියවර ගන්නා බවට ප්‍රංශ ජනපතිවරයා ද ප්‍රකාශ කර තිබෙනවා.
යුද්ධය විශේෂ ආරක්ෂක මෙහෙයුමක් විදියට වර නැගූ රුසියානු රාජ්‍ය මාධ්‍යයක මැදිරියක් තුළ, දරු දෙදෙනෙකුගේ මවක් වන එම මාධ්‍යවේදිනිය ඇයගේ " ඊළඟ මොහොත " ගැන පවා නොසිතා සිදුකළ එම ක්‍රියාව නිසා ඇයත් ඉතිහාසය ලෙයින් සහ කඳුලින් ලියූ අල්ප මාධ්‍යවේදීන් අතරට එකතු වනු ඇති.
| ජයමාලි |