ශ්‍රීලනිපය රාජපක්ෂලාගෙන් බේරගන්න විකල්ප සමුළුවක් !

ශ්‍රීලනිපය රාජපක්ෂලාගෙන් බේරගන්න විකල්ප සමුළුවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ගෝඨාභය රාජපක්ෂට සහය පළකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියේ එය ගිවිසුමක් මගින් පක්ෂය කුමන්ත්‍රණකරුවන් හට පවරා දී ශ්‍රීලනිපය විනාශ කිරීමට ගන්නා උත්සාහයක් බවයි.එම නිසාම මෙම තීරණාත්මක අවස්ථාවේදී පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් එය රැකගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත් එම නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පලකරනා බවත් කියා සිටියාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නොවැම්බර් 01 වැනිදා එක්සත් ජාතික පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර හෙට (නොවැම්බර් 05) වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයක් කැඳවීමට සූදානම් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසකට දැනටමත් ආරාධනා කර ඇති බව comrade.lk වෙත වාර්තා වෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව කැඳවීමේ බලයක් හිටපු ජනාධිපතිනියට නොමැති අතර එය පක්‍ෂ නායකයා හෝ පක්ෂ මහලේකම්වරයා විසින් සිදු කළ යුත්තකි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබියදී එයට පිටින් ගොස් සජිත් ප්‍රේමදාසට සහය පළකිරීම වෙනුවෙන් චන්ද්‍රිකා ගත් තීරණය පක්ෂ විනය කඩකිරීමක් බවයි. ඒ සම්බන්ධයෙන් ගත යුතු විනය ක‍්‍රියාමාර්ග හෙට (5) පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බවත් පක්‍ෂ තීන්දුවට පිටින් ගොස් හෙට(05) සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව කියන සමුළුවට සහභාගී වන පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ සංවිධායකවරුන්ට සිටියහොත් ඔවුන්ට එරෙහිවද විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.