පැය 24කදී ඇමරිකාවේ දරුණු වෙඩි තැබීම් දෙකක් ! 29ක් මරුට !!

පැය 24කදී ඇමරිකාවේ දරුණු වෙඩි තැබීම් දෙකක් ! 29ක් මරුට !!

ගෙවුණු පැය 24 තුළ ඇමෙරිකාවේ සිදු වූ දරුණු වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ නම් නගරයේ ඊයේ(04) අලුයම සිදු වූ වෙඩි තැබීමෙන් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇත. ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවට මදක් දුරින් පිහිටි 'වොල්මාට්' වෙළෙඳ සංකීර්ණයක එම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් 'පැට්‍රික් කෘසියස්' නමැති 21ක් හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු නැගෙනහිර එල් පාසෝ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත. මෙම අවස්ථාවේ දී වොල්මාට් වෙළෙඳ සංකීර්ණය තුළ නව පාසල් වාරය සඳහා භාණ්ඩ මිලදී ගනිමින් විශාල පිරිසක් සිට ඇති අතර මරණයට පත් වූවන්ගේ නම් තවමත් ප්‍රසිද්ධ කර නැත. ඒ අතර මෙක්සිකානු වැසියන් තිදෙනෙකුද මිය ගොස් ඇති බව මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩො උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

මෙම ප්‍රහාරය සිදුවී පැය කිහිපයකින් පසු ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඩේටන් නගරයේ තවත් වෙඩිතැබීමක් සිදු වී ඇති අතර ඉන් 9 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔරිගන් දිස්ත්‍රික්කයේ තැබෑරුමක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරු පොලිස් ප්‍රති ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වූ බවත් පොලීසිය කියා සිටියේ ය.

මෙම වෙඩි තැබීම් ඇමෙරිකානු ඉතිහාසයේ වාර්තා වූ අටවැනි මාරාන්තික සිදුවීම ලෙස සැලවෙන අතර ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් කියා සිටින්නේ ඊයේ දිනය "ටෙක්සාස් ඉතිහාසයේ බියකරුම දිනයක්' බවයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම වෙඩිතැබීම තරයේ හෙළා දකින අතර ඔහු කියා සිටියේ, එය "බියසුළු ක්‍රියාවක්" බවයි.

dsryjmurm