සුප්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් සමුගනියි !

සුප්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් සමුගනියි !

සුප්‍රකට ඉන්දීය  නළු ඉර්ෆාන් ඛාන් අද (29) මුම්බායිහි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 53 හැවිරිදි වියෙහි පසුවිය. බඩවැල් ආශ්‍රිතව හටගත් රෝගයක් හේතුවෙන් ඔහු මෙලස ජීවිතයෙන් සමුගෙන ඇති අතර වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන්ද පෙළීසිට ඇත.

ඉන්දීය සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් ඇකඩම් සම්මාන නිර්දේශිත සලාම් බොම්බේ, පිකූ, ද ලන්ච් බොක්ස්, මක්බූල්, ගුන්ඩේ ඇතුළු ජනප්‍රිය ඉන්දීය සිනමා නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වී තිබේ. ඉන්දීය සිනමාව පමණක් නොව බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ හොලිවුඩ් සිනමාවේද ඔහු සිය රංගන දක්ෂතා දක්වා ඇති අතර ස්ලම්ඩෝග් මිලියනයර්, ජුරාසික් වර්ල්ඩ්, ද ඇමේසින් ස්පයිඩර් මෑන්, ලයිෆ් ඔෆ් පයි ඔහු රඟපෑ අතිසාර්ථක ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකි.