හොඳ හෝ නරක වමේ මතකය ඉතිරි කර බැටී සමුගනී !

හොඳ හෝ නරක වමේ මතකය ඉතිරි කර බැටී සමුගනී !

බැටී වීරකෝන් උපන්නේ ලංකා සමසමාජ පක්ෂය උපන් දවසට වඩා අවුරුදු තුනකුත් මාස දෙකකට පෙර ය. 1932 සැප්තැම්බර් 21 මාතලේදී උපන් රිචඩ් වීරකෝන්, රට හඳුනන්නේ බැටී වීරකෝන් නමිනි. ඔහු, සිය ජීවිතයේ ප්‍රථම වෘත්තිය ලෙස කටුගස්තොට රාහුල විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත්වීම ලැබීය. කොළොන්නාව විද්‍යාලයේ සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමේ ගුරුවරයකු ලෙස ද පසුකලෙක ඔහු සේවය කළේය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාව සිටි කාලයේ බැටී වීරකෝන් විපක්ෂයේ ලේකම්වරයා විය. 1962 දී බැටී වීරකෝන් අධි නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායකයකු ලෙස ඔහු ක්‍රියාත්මක විය. බැටී වීරකෝන් 1998 දී එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා වූ අතර 2001 දී අධිකරණ ඇමැතිවරයා විය. ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධිනීතිඥ බැටි වීරකෝන් පසුගිය 07 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.

බැටී වීරකෝන් දේශපාලනය මෙවැනි කෙටි සටහනකින් කියැවීම අසීරු ය. පැරණි වම ලෙස දේශපාලන ශබ්දකෝෂයේ පහසුවෙන් හඳුන්වන කුලකයට ඔහු අයත් වේ. අසූව දශකයේ ජවිපෙ කෝණයට අනුව බැටී දේශපාලනය පැරණි ලෙස නම් වුව ද, ජවිපෙට හිතවත්ව සිටි රිචඩ් ද සොයිසා එවකට පැවති ප්‍රේමදාස ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඝාතනය කළ පසු ඒ නඩුවේ මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රමුඛයෙකි, බැටී. අනෙක් අතට, නව යැයි කී ජවිපෙ ජාතිකවාදය දෙසට යද්දී, පැරණි යැයි කී බැටීලා ජාතිකවාදයට විරුද්ධ දේශපාලනයක කලක් තිස්සේ නියැලුණහ. එහෙත්, ඒ ජවිපෙ ම ජාතිකවාදයෙන් කැඩී ස්වකීය දේශපාලනය යළි කියවමින් සිටින මොහොතක, ලාංකේය ජාතිකවාදයේ මුරබල්ලා ලෙස කටයුතු කරන රාජපක්ෂ දේශපාලනයේ සෙවණ යටට ඇදී ගිය බැටී වීරකෝන්, ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වෙන්නට පෙර, ස්වකීය ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ. 

| විසිකු |