අන්තවාදය යුගයේ ප්‍රබල අභියෝගයක් ! අගමැති ඉතාලියේදී කියයි

අන්තවාදය යුගයේ ප්‍රබල අභියෝගයක් ! අගමැති ඉතාලියේදී කියයි

ඊයේ (12) ඉතාලියේ බොලොඤ්ඤා නුවර ආරම්භ වූ G20 අන්තර් ආගමික සමුළුවේ ආරම්භක දින පළමු සැසි වාරය අමතමින් ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා ඉතා වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළේය. 

ආර්ථික , දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අනාගතය රඳා පවතින්නේ, එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජිවනය මත බවත්, අන්තවාදී මතවාද හා ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ ඇති ප්‍රබලතම අභියෝගය බවත්  ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය වරයා සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබඳවද සිහිපත් කළේය.

තවද, කොවිඩ් අර්බුදය ආගම්, ජාතීන් හා ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාටම මාරාන්තික පහරක් එල්ල කර ඇති බවත් වසංතයෙන් බේරී නැවත ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය තේමා කර ගනිමින් ඵෙතිහාසික බොලොඤ්ඤා නගරයේ මෙම සමුළුව සංවිධානය කිරීම කාලෝචිත බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එහි ආරම්භක සැසිය ඇමතීම සඳහා ශ්‍රි ලංකාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්ද කෘතවේදිත්වය පළ කළේය.

G20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස 30-31 දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමඟාමීව G20 අන්තර් ආගමික සමුළුව (G20 Interfaith Forum) පැවැත්වෙයි.