අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වෙයි !

අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වෙයි !

 

මෙරට ජනසන්නිවේදන අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටු කළ අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වී ඇත. ස්වර්ගස්ථ වන විට එතුමන් 89 වැනි වියෙහි පසුවිය.

1931 අගෝස්තු මස 31 වැනි දින මාරවිල දී උපත ලද උන්වහන්සේ මාරවිල රෝමානු කතෝලික පාසැලෙන් මූලික අධ්‍යාපනය ලද්දේය. පසුව බොරැුල්ලේ සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලට ද එයින් පසු බොරැුල්ලේ සාන්ත බර්නාඞ් පූජක දෙව්සත්හල ට ද පසුව මහනුවර අම්පිටියේ ලංකා අප ස්වාමි දුවගේ ජාතික දෙව්සත්හලට ද එතුමා ඇතුළත් විය. පෝරුතොටගේ රේමන්ඞ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු යන දීර්ඝ නාමය වෙනුවට අර්නස්ට් පෝරුතොට යන කෙටි නාමය භාවිතා කිරීම ඇරඹු එතුමා 1957 පෙබරවාරි මස 02 වැනිදින කොටහේන සාන්ත ලූ‍සියා ආසන දෙව් මැදුරේදී අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් අතින් පූජකවරය ලැබීය. මීසම් සහායක පියතුමෙක් ලෙස කොටහේන සාන්ත ලූ‍සියා ආසන දෙව් මැදුර (1957-59* මොරටුව සාන්ත සෙබස්තියන්(1959-60* පමුණුගම සාන්ත ජෝසප් (1960 මැයි -ඔක්තෝබර්* දෙහිවල සාන්ත මරියා (1960-62* දෙව් මැදුරුවල සේවය කළ පෝරුතොට පියතුමන් මීසම් පාලක (එතුමා භාවිතා කළේ මීසම් සේවක යන වදනයි* පියතුමා වශයෙන් දෙහියාගාත (1962-66* කැළණිය (1967-74* කළුතර කලමුල්ල (1974-82* කෝට්ටේ (1982-87* වත්තල (1991-97* දෙහිවල ( 1997-2004* කිරිමැටියාගාර (2004-2011* යන මීසම්වල සේවය කළේය. 1987-91 දක්වා කොළඹ අගරදගුරු පදවි දිසා අනුනායක වශයෙන් එතුමන් පත් විය. එලෙස දෙවරක්ම පත්වූයේ කොළඹ අග රදගුරු පදවියේ පූජක ඡන්දයකිනි.

ලේඛකයෙකු මෙන්ම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට ද මහත් සේවයක් සිදුකර ඇති අතර ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දරන ලදී.

අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානය (OCIC) පිහිටුවන ලද්දේ 1928 වර්ෂයේ අපේ‍්‍රල් මස 23 සිට 25 දක්වා නෙදර්ලන්තයේ හේග් නුවර පවත්වන ලද සමුළුවකදීය.එහි ශාඛාවක් මෙරට පැවැත්වීම පෝරුතොට පියතුමාගේ සිහිනයක්ව පැවතිණ. එය මල්ඵල ගැනුණේ එතුමා කැළණිය මීසම් සේවක වශයෙන් සිටියදී 1970 වසරේදීය. ප‍්‍රථම රැුස්වීම පවත්වන ලද්දේ පෑලියගොඩ සාන්ත මරියා දෙව් මැදුරේ මීසම් ගෘහයේ දීය.

මේ වන විට තෝරා ගත් උසස් චිත‍්‍රපට සඳහා සම්මාන පිරිනැමීමේ ක‍්‍රමයක් අන්තර් ජාතික කතෝලික සංවිධානය විසින් පවත්වා ගෙන යන ලදී. හොඳ සිනමාවක් ගොඩනැගීම සඳහා දායකවන දේශිය සිනමාවේ විවිධ අංශ නියෝජනය කරන ශිල්පින්ගේ දක්ෂතා ඇගැයීමේ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම පෝරුතොට පියතුමාගේ අරමුණ විය. එහි ප‍්‍රථම පියවර වශයෙන් 1947 සිට 1972 දක්වා කාලය තුළ ඊට විවිධාකාරයෙන් දායක වූ කතෝලික ශිල්පින්ට ”උත්තමාචාර” දැක්වීම සඳහා විශේෂ උත්සවයක් එවකට කොළඹ අගරදගුරු ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු මැදුරේ දී 1971 දෙසැම්බර් මස 21 වැනි දින පවත්වන ලදී.

1973 වර්ෂයේ දී ලංකා චිත‍්‍රපට විචාරක හා ලේඛක සංගමය (FCIAC) මගින් පවත්වන ලද අන්තර්ජාතික සිනමා උලෙළේ දී තිරගත වූ හොඳම චිත‍්‍රපටය සඳහා සම්මාන ප‍්‍රදානය කිරීම එම වසරේ දෙසැම්බර් 31 වැනි දින ගාලූ‍ මුවදොර හෝටලයේ දී පැවැත්වීමට සූදානම් කර තිබිණ. ශ‍්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය ද එම උලෙලේ හොඳම චිත‍්‍රපටය සදහා ඕ.සී.අයි.සී. සම්මානය ප‍්‍රදානය කිරීම එම වේදිකාවේ දි සිදුකිරීමට තීරණය කර තිබිණ. ඒ අනුව එම උලෙළට චෙකොස්ලෝවැකියාවෙන් ඉදිරිපත් කරන ලද And My Love to The Sallows චිත‍්‍රපටය සඳහා ඕ.සී.අයි.සී. සම්මානය ප‍්‍රදානය කෙරිණ. එවකට ලංකා චිත‍්‍රපට හා විචාරක හා ලේඛක සංගමය දේශිය සිනමා කෘතින්ට විචාරක සම්මාන පිරිනැමීම ආරම්භ කර තිබිණ. එම වේදිකාවම උපයෝගි කර ගත් ජාතික කතෝලික සිනමා පර්ෂදය 1975 අපේ‍්‍රල් මස 3 වැනි දින මුල් වරට ධර්මසේන පතිරාජගේ ”අහස් ගව්ව” චිත‍්‍රපටය උදෙසා සම්මාන සහතිකයක් පිරිනමන ලදී.

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දීර්ඝ කාලීන සිහිනයක් මල්ඵල ගන්වමින් 1976 වසරේ තිර ගත කළ චිත‍්‍රපට සදහා ජූරියක් මගින් ශ‍්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ උත්තමාචාර පිදීමේ උලෙලේ පටන් 1977 පෙබරවාරි මස 5 වැනි දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. විප්ලවීය පියවරක් ඉදිරියට තබමින් මෙහි ප‍්‍රධාන ආරාධිතයා වූයේ එවකට නිවාස හා ඉදිකිරිම් ඇමති කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් මහතාය. උත්තමාචාර සම්මානය රැුලෙක්ස් රණසිංහ ගේ දෘෂ්‍ය සංකල්පයක් වූ අතර එම මූර්තිය හෙන්රි නිව්ටන් පෙරේරා විසින් නිම කරන ලදී. සම්මාන සහතික පත‍්‍රය ද නිර්මාණය රැුලෙක්ස් රණසිංහගෙනි. මෙම ප‍්‍රථම ජූරියේ සභාපති පදවිය පෝරුතොට පියතුමන් විසින් හොබවන ලද අතර එඞ්වින් ආරියදාස, නීල් අයි.පෙරේරා, සිරිල් බී.පෙරේරා, රැුලෙක්ස් රණසිංහ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ලක්ෂමන් වැලිකල හා මම සෙසු සාමාජිකයන්වීමු. එම උලෙළෙ පටන් තෝරා ගත් මාතෘකාවක් යටතේ උත්තමාචාර මුඛ්‍ය දේශනයක් ද පවත්වන්නට කටයුතු යොදා ගත්තේ ගරු පෝරුතොට පියතුමන්ගේ අදහසක් පිරිදිය.

1981 වසරේ සිට ලාංකික දෙමළ චිත‍්‍රපට සඳහා ද කෙටි හා අර්ධ වෘත්තාන්ත සඳහාද සම්මාන ප‍්‍රදානය කෙරුණේ ද පෝරුතොට පියතුමන්ගේ අදහසක් පරිදිය. දෙමළ සිනමා කෘතිය සඳහා සම්මාන ප‍්‍රදානය සිදු කරන ලද්දේ දෙමළ සිනමා විචාරකයන්ගෙන් සමන්විත පිරිසකි. සිනමාවේ ප‍්‍රගතිය වෙනුවෙන් විවිධ අංශයන් ගෙන් දස්කම් දැක්වූවන්ට ඕසී.අයි.සී ප‍්‍රණාම පිරිනැමීම 1985 වසරේ ඇරඹුණු අතර 1986 වසරේ සිට ආධුනික සිනමා විචාර තරගයක් පවත්වා ජයවිලාල් විලේගොඩ අනුස්මරන සම්මානය ප‍්‍රදානය කිරීම ද සිදුවිය. සම්මාන ආරම්භයේ සිටම පෝරුතොට පියතුමන්ගේ අභිලාෂය වුයේ එහි ආගමික මුහුණුවර සහමුලින්ම බැහැර කරමින් ජාතික සිනමා මහෝත්සවයක් පැවැත්වීමය. එමෙන්ම පියතුමන්ගේ තවත් අභිලාෂයක් වුයේ මෙරට තරුණයන්ට සිනමා අධ්‍යාපනයක් ලබා දිය යුතු බවය. ජාතික සිනමාවක් බිහි කිරීමේදි එය අත්‍යවශයයැයි විශ්වාස කළ එතුමන් ඒ සදහා සිනමා පිළිබද කෘතින් පළ කිරීම , සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පැවැත්වීම හා සිනමාකරණ හා රූපවාහිනි පාඨමාලා පැවැත්වීම ආරම්භය ද එයින් සමහරකි.

කතෝලික සිනමා පර්ෂදයේ දස වසක සේවාවෙන් පසු එනම් 1982 වසරේ දී එයින් එතුමා සමුගත් පසුව 1989 හා 97 කාලය ඇතුළත තිස්ස බාලසූරිය පියතුමා විසින් පවත්වාගෙන යන ලද සමාජ හා සාමයික කේන්ද්‍රයේ අනුබද්ධ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ධුරය ද උන්වහන්සේ විසින් දරන ලදී.

එපමණක් නොව එතුමන් නිර්භිත තීන්දු රාශියක් ලබා ගත් අතර එය ආගමික මතවාදයන්ට සීමා නොවිණ. ඇතුම් තීන්දු පෞද්ගලිකව එතුමන්ට අවාසිදායක වුව ද සිය මතය වෙනුවෙන් පෙනිසිටිමට එතුමන් නිර්භය විය. හැමවිටම කලාව සම්බන්ධ සියලූ‍ වාරණයන්ට උන් වහන්සේ විරුද්ධ විය.

කතෝලික පදවි පූජකවරයෙකු වශයෙන් තමා සේවය කළ මීසම් වල ගිහි ජනතාවට සිය උපරිම සේවය ලබාදීම ද කිසිවිටෙක අඩු නොකළ අර්නස්ට් පෝරුතොට පියතුමන් ශ‍්‍රී ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙමින් තරුණ සිනමාකරුවන් දිරිමත් කරමින් කළ මෙහෙය ජාතියේ ගෞරවය හිමි විය යුතුය. දැයට ලැදි ජාතික සංස්කෘතියට ලැදි දේශිය කලාවන්ට මහත් භක්තියක් දක්වන එතුමාණෝ කතෝලික සභාව කාලානුරූපි හා දේශිය කිරීමේ කාර්යබාරයට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය.

| ලාංකේය සිනමාවේ කිතුනු පිය වත - සරසවිය පුවත්පතෙන් උපුටා ගත් කොටසකි |