විදෙස්ගත ශ්‍රමිකයන් වහා ගෙන්වන්න ! කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් !!

විදෙස්ගත ශ්‍රමිකයන් වහා ගෙන්වන්න ! කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් !!

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමිවීම නිසා මැදපෙරදිග රටවල අසරණ වී සිටින ලාංකික ශ්‍රමිකයන් වහාම නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කරුණු දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානය අද (19) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහතින්,

සභාපති,
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,
අංක 234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත,
බත්තරමුල්ල.

සභාපතිතුමනි,

කොරෝනා වසංගත තත්වය හමුවේ මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන් මුහුණ දී තිබෙන ගැටළු

ලංකාවේ විදේශ විනිමය ආදායමින් වැඩිම ආදායම උපයනු ලබන්නේ විදේශගත ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් වන අතර එම ආදායමින් අඩකට වඩා රටට සපයන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන් විසිනි. එමෙන්ම ලංකාවෙන් රැකියා සඳහා විදේශගත වුවන් අතර වැටුප් තල, ශ්‍රම කොන්දේසි හා ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පවා මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන් විශේෂ ගැටලුවකට මුහුණ පා සිටින බව මැදපෙරදිග සේවය කරන ශ්‍රමික ස්ත්‍රීන් මුහුණ දෙන අත්දැකීම් හේතුවෙන් තවදුරටත් රහසක් නොවේ. මේ වසරේ ආරම්භයේ සිට කොවිඩ් වසංගත තත්වය ආරම්භ වීමත්, එය ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වීමත් සමග මැදපෙරදිග ලාංකික ශ්‍රමිකයන් විශේෂ ගැටලුවකට මුහුණදී සිටී. නමුත් ලංකාවේ විදේශ විනිමය උත්පාදන මාර්ග අතරින් ප්‍රමුඛ ස්ථානයක සිටින මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් ලංකාවේ රජයේ මැදිහත්වීම අතිශය කනගාටුදායක මට්ටමක පවතී. කොවිඩ් වසංගතය නිසා විදේශ රටවල කොටුවී සිටින ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේදී පොදුවේ විදෙස්ගත ශ්‍රමිකයන් නොසලකා හැරීමට ලක්ව ඇති අතර විශේෂයෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අවම මැදිහත්වීමක් පවා නැත. එබැවින් මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන පහත ගැටළු පිළිබඳව අවධානය යොමු කර වහාම ඒ සඳහා රාජ්‍ය මට්ටමින් පියවර ගැනීමට ඉල්ලා සිටීම මෙම ලිපියේ අරමුණයි.

කොවිඩ්-19 වසංගතයත් සමග සිදුව ඇති ආර්ථික බිඳ වැටීම හමුවේ එහි බර මුළුමනින්ම වැඩකරන ජනතාව මත පටවමින් සිටින අතර එය ලංකාවට මෙන්ම මැදපෙරදිගටද පොදුවේ. බොහෝ සමාගම් සිය වියදම් අවම කර ගැනීම සඳහා සේවකයන් රැකියා වලින් නෙරපා හැරීම සහ වැටුප් කප්පාදුව ආරම්භ කර ඇති අතර එමගින් ලාංකික ශ්‍රමිකයන් අසරණ වී තිබේ. ඉදිකිරීම් කර්මාන්තයේ, හෝටල් කර්මාන්තයේ සහ සනීපාරක්ෂක සේවයේ නියුතුව සිටි ලාංකිකයන් දහස් ගණනකට රැකියා අහිමිව ඇති අතර දෛනික ආදායමින් යැපුණු, සුළු ආදායම් ලැබූ බොහෝ දෙනෙකු එම කුඩා ආදායමට පවා අස්වාමිකව විශාල අර්බුදයකට ගොදුරුව සිටී. කුඩා පරිමාණ ආයතන ගණනාවක් මේ වනවිට වැසී යමින් තිබෙන නිසා දහස් ගණනින් කම්කරුවන් මහමගට ඇද වැටෙන්නේ නොසිතු විරූ ලෙසය. එමෙන්ම මෙතෙක් ලැබූ වැටුපෙන් 40%-60% දක්වා විශාල කොටසක් කප්පාදු කරන ලද වෘත්තීන් වල නිරත ලාංකිකයන් අර්බුදයට ගොස් තිබේ. මෙම තත්වය උග්‍ර වී තිබෙන්නේ ඇතැම් ශ්‍රමිකයන් සඳහා කිසිදු වැටුපක් නොලැබෙන තත්වයක් උද්ගතව ඇති හෙයිනි. කොවිඩ් වසංගතයත් සමග බොහෝ මැදපෙරදිග රටවල රජයන් සේවක වැටුප් හා දීමනා පිලිබඳ නව ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකළ අතර ඒවාට අනුව වැටුප් කප්පාදුව සහ වැටුප් රහිතව අනිවාර්ය නිවාඩු යැවීම නීත්‍යානුකූල වී තිබේ. මේ සියල්ල මගින් එම රටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන් සිය දෛනික ආදායම පවා සොයා ගැනීමට නොහැකිව අසරණ වී සිටී.
මෙම අර්බුදය සිය දරු පවුල් සමග මැදපෙරදිගට ගොස් සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉතා අහිතකර බලපෑමක් කර තිබේ. නිවාස කුලී, විදුලි ගාස්තු, ජල ගාස්තු, දුරකථන හා අන්තර්ජාල ගාස්තු, පාසල් ගාස්තු මෙන්ම ආහාර සඳහා වියදම් පවා කිසිදු ආකාරයකින් අඩුවී නැති අතර බොහෝ මැදපෙරදිග රටවල ඒවා ගෙවීමට අදාලව කිසිදු සහනයක් නැත. රැකියා අහිමිවූ හෝ වැටුප් කප්පාදුවට ලක්වූ ලාංකික ශ්‍රමිකයන් බොහෝ දෙනා 7-8 කණ්ඩායම් ලෙස කාමර කුලියට ගෙන වාසය කළ අය වන අතර කුලී ගෙවීමට මුදල් නොමැතිවීම නිසා ඔවුන් කිසිදු හව්හරණක් නැතිව මහමගට ඇද වැටෙමින් තිබේ. විශේෂයෙන් දෛනික ආදායමින් දිවි ගෙවූ බොහෝ දෙනෙකුට උන්හිටිතැන් අහිමිවීමේ අවදානම සහ දෛනික ආහාරය සපයා ගැනීමේ අවදානම දැන් බරපතල ලෙස මතුවෙමින් තිබේ. කෙටිකාලීන කටයුතු සඳහා මැදපෙරදිගට ගිය ලාංකිකයන් හා සංචාරක වීසා මත ගිය ලාංකිකයන් ආදායමක් රහිතව නොසිතු තරම් දිගු කාලයක් එරට සිටීමට සිදුවීම නිසා ජීවත්වීමේ අර්බුදයකට ගොදුරුව සිටීම මෙහි අවධානය යොමු කළ යුතු තවත් පැත්තකි.
මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන්ද අර්බුදයකට මුහුණ දී සිටී. බොහෝ මැදපෙරදිග රටවල සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇති අතර ඒ සඳහා මුදල් ගෙවිය නොහැකි අඩු ආදායම් ලබන වෘත්තීන්හි නිරත ලාංකිකයන්ට සෞඛ්‍ය පහසුකම් නොලැබේ. අනෙක් අතට බොහෝ රක්ෂණ ආවරණ මගින් මිල අධික ප්‍රතිකාර සඳහා මුදල් නොලැබේ. එබැවින් විවිධ ප්‍රතිකාර සඳහා සහ ශල්‍යකර්ම සඳහා ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි පිරිස් අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් පවා නොලබන තත්වයකට පත්ව සිටී. නිදසුනක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ගැබිණි මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන්ගේ එරට රක්ෂණ ආවරණ දරු ප්‍රසූතියක වියදම සඳහා ප්‍රමාණවත් නැත. එමෙන්ම ඒ සඳහා රුපියල් මිලියනක පමණ රෝහල් ගාස්තු එරටදී ගෙවීමට සිදුවන අතර බොහෝ දෙනෙකුට ඒ සඳහා මුදල් නැත. අවම වශයෙන් ගැබිණි මව්වරුන් ඇතුළු හදිසි ප්‍රතිකාර අවශ්‍ය අය පවා ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීන්ගේ මැදිහත්වීමක් නැත. ගැබිණි මව්වරුන්ට දරු ගැබේ වර්ධනයේ නිශ්චිත මට්ටමකින් පසු ගුවන්ගමන් වලට අවසර නොදෙන නිසා මෙම ප්‍රමාදයේ අනිටු ඵල තවත් භයානක වී තිබේ. මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු ස්ත්‍රී ශ්‍රමිකන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තානාපති කාර්යාල වල මැදිහත්වීම ඉතා දුර්වල වන අතර එවැනි මැදිහත්වීමක් නැති තරම්ය. ගෘහ සේවයේ නියුතු කාන්තාවන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවද, ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය පවා හාම්පුතුන් අහිමි කළ බවට තොරතුරු තිබේ. නමුත් තානාපති කාර්යාල ඒ සඳහා කර තිබෙන මැදිහත්වීමක් නැත. කොරෝනා වැළඳීමෙන් පසුව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින ලාංකිකයන් පිළිබඳව තානාපති නිලධාරීන් අවම සොයා බැලීමක් හෝ සිදු කරන්නේද නැත.
ඒ අනුව මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතීන් උදෙසා කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වලට බලකර කියා සිටිමු. ලංකාවේ විදේශ විනිමය ආදායමට දැවැන්ත දායකත්වයක් සපයන මෙම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකර රටවිරුවන් ආදී නම් පටබැඳීමේ සංදර්ශන වලින් පලක් නැත. රැකියා අහිමි වීමෙන් හෝ වෙනත් එවැනි තත්වයක් මත ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන මැදපෙරදිග වෙසෙන ලාංකිකයන් වහාම ලංකාවට ගෙන්වා ගත යුතු අතර ලංකාවට පැමිණීමෙන් පසුව ඔවුන් සුදුසු නිරෝධායන ක්‍රියාවලියකට බඳුන් කළ හැක. දැනටමත් බොහෝ දෙනෙක් නැවත ලංකාවට පැමිණීම සඳහා එම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල වල ලියාපදිංචි වී සිටින අතර එම ලයිස්තු ප්‍රමුඛතා අනුපිළිවෙලකට සකස් කර ඔවුන් ලංකාවට ගෙන්වා ගත යුතුය. දැනට ඉතා සුළු පිරිසක් ගුවන්යානා යවා ලංකාවට ගෙන්වාගෙන ඇතත් ඒ සඳහා අවස්ථාව සලසා දෙනු ලැබුවේ සහ ප්‍රමුඛතා තීරණය කළේ කුමන පදනමකට අනුවදැයි පැහැදිලි නැත. ලංකාවට එවීමේදී තානාපති කාර්යාල නිලධාරීන්ගේ හිතවතුන්, මුදලින් අල්ලස් ලබා දිය හැකි ඉහල ආදායම්ලාභීන් සහ දේශපාලන හිතවතුන් වෙත ප්‍රමුඛතාව ලබාදෙන බවට චෝදනා එල්ල වී තිබේ. එබැවින් මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයන් ලංකාවට ගෙන්වීමේදී එම තෝරා ගැනීම සිදු කරන ආකාරය පාරදෘශ්‍ය විය යුතුය. එම තෝරා ගැනීමේ පදනම් සමාජයට හෙළි කළ යුතුය. එමෙන්ම මාසයකට එක ගුවන් යානයක් මැදපෙරදිගට යවන ඇඟ බේරා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනුවට රජය එම පිරිස වහා ලංකාවට ගෙන්වා ගැනීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය. දැනට මැදපෙරදිග සිරව සිටින, සෞඛ්‍ය රක්ෂණයක් නැති හෝ තම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රක්ෂණාවරණය ප්‍රමාණවත් නැති සියලු දෙනාගේ සෞඛ්‍ය වියදම් ලංකාවේ රජය විසින් දැරිය යුතුය. ඒ සඳහා මැදපෙරදිග යන ශ්‍රමිකයන්ගෙන් රජය අය කරන රක්ෂණ මුදලට අදාළ අරමුදල භාවිතා කළ හැකිය. දැනට මැදපෙරදිග සේවයට යන ශ්‍රමිකයන්ගෙන් වසර දෙකක් සඳහා රුපියල් 17,500ක් සහ වැඩිවන සෑම වසරක් සඳහාම රුපියල් 7500 බැගින් ලංකාවේ රජය රක්ෂණ මුදලක් අය කරන අතර එම අරමුදලට සිදු වන්නේ කුමක්දැයි පැහැදිලි නැත. ඒවා ගසාකෑම වහා නවතා සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය ලාංකිකයන්ට එම අයිතිය ලබාදීම සඳහා එම මුදල් වැය කළ යුතුය.

කොවිඩ් උවදුර ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන තත්වයක් යටතේ මෙම ප්‍රශ්න සඳහා කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය අතර මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩපිළිවෙල වහා ඉදිරිපත් කරන ලෙසද, කම්කරු අරගල මධ්‍යස්ථානයට මෙකී ගැටළු සඳහා වන සාකච්ඡාවක් හැකි ඉක්මනින් ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,

දුමින්ද නාගමුව
සංවිධායක ලේකම්,
කම්කරු අරගල මධ්‍යස්ථානය
2020 මැයි 15