අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි !

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි !

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දී ඇත. විදෙස් මාධ්‍ය පවසන්නෙ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළද  මෙම ක්‍රියාවලියට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වී ඊට ලබාදෙන අරමුදල් වෙනත් කටයුත්තක් සඳහා යොදවන බවට පසුගියදා ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග එසේ කිරීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් ගණනාවක් කළ ඉල්ලීම් නොතකමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹීම ලෝකයේම මවිතයට හේතු වී ඇත.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීන පාලනයට නතුවීම හේතුවෙන් තමා මෙම පියවර ගත් බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් පවසන්නේ අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ලබන වසරේ ජුලි මස 6 වනදා සිට බලාත්මක වනු ඇති බවයි.

ජනපති ට්‍රම්ප් ගේ ක්‍රියාව හෙලා දකින ඩිමොක්‍රැටික් පක්ෂයේ සෙනෙට් සභික රොබට් මෙනෙන්ඩේස්, Covid-19 වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ ජනපති ට්‍රම්ප් ගත් මෙම පියවරෙන් අමෙරිකාව හුදෙකලා වන බව දැඩිව අවධාරණය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණය විය යුතු ආකාරය පිළිබඳ වරින් වර තමන් දැනුම් දුන් නමුත් එම සංවිධානය ඊට එකඟත්වයක් නොදැක්වීම නිසා ඇමරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගත් බව එරට බලධාරීහු පෙන්වා දී ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු දිනම යළි ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වෙමින් ගෝලීය රාමුව තුල අමෙරිකානු නායකත්වය ප්‍රතිශ්ඨාපනය කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම මූල්‍යමය ශක්තියක් ලබාදෙන්නේ අමෙරිකාව වන අතර 2019 වසරේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 400 කි.