කොරෝනා මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් 40ක් බිලිගනී !

කොරෝනා මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් 40ක් බිලිගනී !

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට විදෙස් ශ්‍රමිකයන් 40 දෙනකු මේ වන විට මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. ඊයෙ (16) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සභාපති කමල් රත්වත්තේ මේ බව තහවුරු  කළේය.

මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයින් 37 දෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් ද වන බවත්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිරීති අනුව ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියාසිටියේ 2019 ගිවිසුමට අනුව, සාමාන්‍ය  මරණයක දී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5ක මුදල, කොවිඩ් 19 රෝගය වැළදී මියයන ශ්‍රමිකයින් වෙනුවෙන් ද ගෙවනු ලබන බවය.

ඒ අනුව දැනටමත් 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කරමින් තිබෙන බවත් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන්ට මෙම ප්‍රතිලාභය හිමිවන අතර, ලියාපදිංචිය ලබා එහි කාලය ඉක්මවූ අය වෙනුවෙන්, විශේෂ සුභසාධන අරමුදල යටතේ රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි පිරිනැමෙන බවද 2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන් වෙනුවෙන් මෙම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර ඇති බවද ඔහු කියා සිටියේය.