ඇඳිරි නීතිය අවසන් ! බස්, දුම්රිය ගමන් වාර ඇරඹෙයි !!

ඇඳිරි නීතිය අවසන් ! බස්, දුම්රිය ගමන් වාර ඇරඹෙයි !!

බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද (09) අලුයම 5.00ට ඉවත් කෙරිණි.මෙලෙස ඇඳිරි නීතිය ඉවත් කළද, රෝගීන් වාර්තාවන ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව ඊයෙ (08) මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල අද (09) කාර්යාලීය දුම්රිය පමණක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල දුම්රිය ස්ථානයන්හිදි එම දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බවත් ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල, හොරපෙ, රාගම, වල්පොල සහ බටුවත්ත යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරෙන බවත්  පුත්තලම මාර්ගයේ පේරලන්ද, ජා ඇළ, තුඩැල්ල, උඩහකපොල, කුරන, මීගමුව, කට්ටුව යන දුම්රිය ස්ථානවලද, පානදුර සහ පිංවත්ත දුම්රිය ස්ථානයන්හිදී ද මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රියද නොනවත්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු සඳහන් කළේය.

එමෙන්ම කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය බේස්ලයින් දුම්රිය ස්ථානයේ සහ කොටා පාරේ පිහිටි දුම්රිය ස්ථානයේ පමණක් නොනවත්වා ධාවනය කෙරෙන බවත් කුරුණෑගල සහ මුත්තෙට්ටුගල, දුම්රිය ස්ථානවල ද උතුරු මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය කිසිවක් නතර නොකෙරෙන බවත් ඔහු කියාසිටියේය.

මේ අතර අද සිට හුදෙකලා කෙරෙන ප‍්‍රදේශ හරහා ලංගම බස්රථ ධාවනය කෙරුණද, එම ප‍්‍රදේශවල බස්රථ නතර කිරීමක් සිදු නොකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර සිටියි. බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලූ අධිවේගී මාර්ග පිවිසුම්ද අද (09) අලුයම 05 සිට යළි විවෘත කර තිබේ.

අද(09) හුදෙකලා කර ඇති පොලිස්බල ප්‍රදේශ වන්නෙ,

කොළඹ දිස්ත්‍රික්කය:
මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිස්වසම
ආදුරුප්පු වීදිය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය කෙසෙල්වත්ත
බොරැල්ල

ගම්පහ දිස්ත්‍රික්කය:
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇල
සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය:
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාම සේවාවසම

කෑගල්ල දිස්ත්‍රික්කය:
මාවනැල්ල
රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
කුරුණෑගල නගර සභා සීමාව
කුලියාපිටිය පොලිස්වසම

මෙම හුදෙකලා කරන ලද පොලිස්වසම්වලට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවිමට හැකියාවක් නොමැති බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර  මෙත්සඳ සෙවණ, මිහජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, සිරිසඳ උයන දෙමටගොඩ, මාලිගාවත්ත NHS නිවාස යෝජනාක්‍රමවල ජීවත්වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කර නිවාස තුළම රැඳී සිටින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.