දේවානි වෙනුවෙන් රටම පෙළ ගැසෙයි !

දේවානි වෙනුවෙන් රටම පෙළ ගැසෙයි !

රාජ්‍ය නිලධාරිනියක් අමාත්‍යවරයෙකු ඉදිරිපිට නොබියව අදහස් හුවමාරු කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ. පසුගියදා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළින් අගය කර තිබේ.

මීගමුව පුන්නකරය ප්‍රදේශයේ පිහිටි කඩොලාන පරිසරයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා බිම් කොටසක් නිදහස් කරන්නැයි ගම්මුන් වෙනුවෙන් ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා කළ ඉල්ලීමකට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සිය විරෝධය පළ කළාය. පසුගිය 10 වැනිදා මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ පැවැති මෙම සාකච්ඡාවේදී ඇමැතිවරයා යෝජනා කර සිටියේ කඩොලාන පරිසරයක් කපා දමා ළමුන්ට ක්‍රීඩාංගණයක් සාදා දීමට එම භූමිය නිදහස් කරදීමට හැකිද යන්නයි. එහිදී අදහස් දක්වමින් දේවානී ජයතිලක කියා සිටියේ,

" මේක පරිසර පද්ධතියක්. යෝජිත භූමිය රජයේ වනාන්තර භූමියක්. වන ගහනය වැඩි කරන්න මේ වෙනකොට අපේ ඉලක්කයක් තියෙනවා. කඩොලාන භූමි හෙක්ටයාර් දස දහසක් අපිට තව මදි. ඊට අමතරව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කතා කරද්දී අපේ භූමිය සම්පූර්ණයෙන්ම අයිති කරගෙන තියෙන බව ප්‍රජාවගෙන්ම කියවුණා. ඒ නිසා තට්ටු නිවාස ව්‍යාපෘතියක් හදන්න නගරාධිපති සමග සාකච්ඡා කර තියෙනවා. විද්‍යාත්මක තීත්දු තීරණ නොගෙන ගමේ ගොඩේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළොත් පරිසරය විනාශ වී මිනිස්සුන්ට ජීවත්වීමට ඔක්සිජන් සපයා ගත නොහැකියි. ඒ නිසා මම කිසිසේත්ම නීතියට පිටින් වැඩ කරන්නේ නෑ " යනුවෙන් ඇය එම යෝජනාවට දැඩි ලෙස විරුද්ධව කරුණු දැක්වීය.

එම කරුණු දැක්වීම අතරවාරයේදී ප්‍රදේශවාසීන් බලපෑම් එල්ල කරමින් ප්‍රකාශ සිදුකර අතර එක් ප්‍රදේශවාසියෙක් එහිදී සඳහන් කරන්නේ තමන්ට ඔක්සිජන් අවශ්‍ය නැති බවයි. මිනිසුන් මැරෙන්නේ කුඩු නිසා බවද ඔහු එහිදී කියා සිටියේය.

කෙසේවෙතත් ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන ප්‍රකාශ කර සිටියේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි. එමෙන්ම අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සභාවක් මැද නොබියව අදහස් දැක්වූ දේවානි ජයතිලකට විවිධ තර්ජන, බලපෑම් සිදුවනු ඇති බව බොහෝ දෙනා අතර කතාබහට ලක් වී ඇති අතර බොහෝ සමාජ ජාල ක්‍රියාකාරිකයින් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ඇය වෙනුවෙන් පෙළ ගැසීමට තමන් සුදානම් බවයි.

gjyy

rereh