ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවතට ! ට්‍රම්ප්ගෙන් චෝදනා !!

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවතට ! ට්‍රම්ප්ගෙන් චෝදනා !!

කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කළ බවට චෝදනා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. පසුගිය (මැයි) 30 වැනිදා වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේදී ඔහු මේ බව නිවේදනය කළේ ය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ‘‘චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය පාලනය කරනවා’’ යනුවෙනි. කෙසේවෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31) වනතුරු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

මේ අතර යුරෝපීය සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීම් කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම ලොව රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්තව ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව ගෝලීයව ගෙන යන සටනට බාධා එල්ල විය හැකි බව එම සංගමය අවධාරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු ලොව රටවල සෞඛ්‍ය හා සුව සේවා ප්‍රවර්ධනය කිරීමේ නියැළෙන ලොවපුරා පැතිර යන විවිධ රෝග, ‘කොවිඩ්-19’ වසංගතය වැනි ගෝලීය වසංගත සම්බන්ධයෙන් සාමාජික රටවල් සමඟ තොරතුරු බෙදාහදා ගනිමින් ලෝකයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්ති සකසන ප්‍රමුඛතම ආයතනයද වේ.