රිදී තිරයට වීරයන් තැනූ විශිෂ්ටයා 'ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු' දිවියෙන් සමුගනී !

රිදී තිරයට වීරයන් තැනූ විශිෂ්ටයා 'ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු' දිවියෙන් සමුගනී !

ලාංකික  සිනමාවේ  ප්‍රවීණ රංගධර ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (29) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 80 වැනි වියෙහි පසුවිය.

සිංහල සිනමාවෙ සටන් නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හෙවත් ජෝසප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු 1940 අගෝස්තු මස 25 වැනි දින කොටහේන කොච්චිකඩේ දී උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් සහ කොළඹ 13 ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයෙනි.

ඔහු පාසල් කාලයේ මල්ලවපොර, බොක්සිං සහ පිහිනුම් පිළිබඳ විශිෂ්ට ශිෂ්‍යයෙකි. ඒ නිසාම වයස අවුරුදු 15 දී ඔහු කොටහේනාහි ‘ආම්ස්ට්‍රෝං මල්ලවපොර සමාජයේ’ සාමාජිකයෙකු බවටද පත්වෙයි.  බස්නාහිර පළාත් පාසල් මල්ලවපොර ශූරතාවලියට සහභාගි වන ඇලෙක්සැන්ඩර්ට එහි අනුශූරතාවය දිනාගැනීමට හැකිවිය. ඊට අමතරව ඔහු පාසල් වියෙහිම කරාතේ, ජූඩෝ සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පුහුණුවද හැදෑරීය.

අධ්‍යාපන කටයුතු නිමාවීමත් සමඟ 1959 දී ඔහු ටෙලි ලිපිකරුවෙකු ලෙස වරායට සම්බන්ධ විය.මේ අතරතුර ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට 1961 දී පරාජයට පත් නොවූ ජාතික මල්ලවපොර ශූරයා ලෙස කීර්තිනාමයක් ද හිමිවිය. ඉන් අනතුරුව ඔහු 1962 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. පසුව ඔහු 1964 ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා සඳහා සුදුසුකම් ලබාගත් අතර 1966 බැංකොක් නිපොන් ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී විය. මෙලෙස ක්‍රීඩා අංශයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ඇලෙක්සැන්ඩර්ට  දණහිසේ ආබාධයක් හේතුවෙන් ගෝලීය ක්‍රීඩා තරඟාවලි කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.  ඒ කෙසේවෙතත්  ක්‍රීඩා වර්ණ ඇති ශ්‍රී ලංකාවේ එකම නළුවා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ය.

1962 දී සටන් නළුවෙකු ලෙස සිංහල සිනමාවට පිවිසි ප්‍රනාන්දු සිය පළමු රංගනය අතරතුර කොළඹ මහ නගර සභාවේ (සීඑම්සී) ක්‍රීඩා උපදේශක ලෙසද කටයුතු කළේය.

1978 අනෝමා ලුම්බිනි සමඟ විවාහ දිවියට එළඹෙන මොහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

කෙටි කාලයක් තුල මෙම සටන් නළුවා සිංහල සිනමාවෙ හොඳම දුෂ්ටයා ලෙස ජනාදරයට පත්විය. සටන් අධ්‍යක්ෂකවරයෙකුද වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සිංහල චිත්‍රපට 120 කට අධික සංඛ්‍යාවක, දෙමළ චිත්‍රපට හයක සහ එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිය රංගන දායකත්වය ලබා දී තිබේ.

alex2

සටන්කාමී චරිතාංග ඇතුළත් චිත‍්‍රපට සඳහා තම ප‍්‍රතිභාපූර්ණ රංගන දායකත්වය ලබා දුන් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු  බොක්ස්ඔෆික්ස් වාර්තා පිහිට වූ රුහුණු කුමාරි, හාරලක්ෂය, සරදියෙල්ගේ පුතා, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා, යකඩයා,හිතුවොත් හිතුවමයි,ක්‍රිස්තු චරිතය වැනි චිත්‍රපට සඳහා  රංගනයෙන් දායක වූ විශිෂ්ඨ රංගවේදියෙකි.