ඉන්දියාවේ වායු දූෂණය ලංකාවටත් ! අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම් !!

ඉන්දියාවේ වායු දූෂණය ලංකාවටත් ! අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම් !!

ඉන්දියාවේ නව දිල්ලි නුවරට බලපා ඇති වායු දුෂණය මේ වන විට ශ්‍රී ලංකාවටද බලපා ඇති බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියි. අහිතකර කාලගුණ තත්වයේ වෙනස්වීම මත සුළං හැමීමේ දිශාව වෙනස් වීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙම ධුලි වායු වළාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන්නට ඇතැයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරයි. මේ වන විට මෙරට වායු දූෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව පවසන ඔහු කියා සිටියේ කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබු බවයි.

ඊයේ සහ අද කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර ශ්වසන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් අවධාරණය කළේය. අද (06) දහවල් පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශය, ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනයේ නිළධාරීන් කැඳවා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ නවදිල්ලියේ වායු දූෂණය මේ වනවිට සීඝ්‍රයෙන් සෙසු ප්‍රදේශයවලට ද පැතිර ගොස් ඇති බවයි.