කතානායකට මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් !

කතානායකට මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් !

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ඊයේ (27) පස්වරුවේ තමා වෙත ලැබුණු බවත් අදාළ අත්සන් සහිත ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කරඇති බවත් කතානායක කරූ ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස අදාළ මන්ත්‍රීවරුන් 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකොට සිය ස්ථාවරය තමාට දැනුම් දෙන්නැයි කතානායකවරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම පසුගියදා කතානායක කරූ ජයසූරිය සඳහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා විපක්ෂ නායක ලෙස පිළිගැනීමට සිදු වන බවයි. මෙම නිවේදනය මගින් ඔහු සඳහන් කර තිබෙන්නේ විපක්ෂ නායක ධුරය බලාත්මක වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවසන් එකඟතාව නිල වශයෙන් දැනුම්දීමෙන් අනතුරුව එය තමා විසින් ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් බවයි. මේ අතර
කතානායක කාර්යාලය පවසා සිටින්නේ මේ වන විට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බවයි. එම නිසා විපක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර අවසන් එකඟතාව මත ගන්නා තීරණය නිල වශයෙන් කතානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව අවසන් තීරණය ගන්නා බව කතානායක කාර්යාලය දන්වා සිටියි.