සමගි ජන බලවේගයට පක්ෂ වූ එජාප නියෝජිතයින් 38කට අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක් !

සමගි ජන බලවේගයට පක්ෂ වූ එජාප නියෝජිතයින් 38කට අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක් !

සමගි ජන බලවේගයට සහාය පළ කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අහිමි කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වන දා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට ඊයේ (2) දැනුම් දී තිබේ. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව පළාත් පාලන නියෝජිතයින් ඇතුළු විවිධ ප්‍රදේශ නියෝජනය කරන 38 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් ඊයේ (02) සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ට සහාය පළකළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් පවත්වා තම සේවා දායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි. ඒ අනුව අදාළ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාව නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කර සිටියේ පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස පළාත් තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසයි.