අප්‍රිකානු රටවල් කිහිපයක් සඳහා සංචරණ සීමා ඉවතට

අප්‍රිකානු රටවල් කිහිපයක් සඳහා සංචරණ සීමා ඉවතට

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා එස්වතිනි යන අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මීට පෙර 2021 නොවැම්බර් 26 වන දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කළ නිවේදනයක් මගින් ඉහත කී රටවලින් පැමිණෙන මගීන් සඳහා සංචරණ සීමා පනවා තිබිණ.

එසේම වයස අවුරුදු 12 අඩු ළමුන් මෙරටට පැමිණීමේ දී ගමනාරම්භයට පෙර ලබාගෙන ලංකාවේ ගුවන්තොටුපලේ දී කෝවිඩ් 19 වැළදී නොමැති බව තහවුරු කිරීමට ඉදිරිපත්කළ යුතුව තිබූ වාර්තා දැන් අවශ්‍ය නොවන බවද මෙම නිවේදනයේ දැක්වේ.

කෙසේ වුවද වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලු මගීන් විසින් තමා ගමනාරම්භයට පෙර පැය 72 තුළ ලබා ගන්නා ලද රෝගය වැළදී නැති බව සනාථ කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගන්නා ලද මෙම වාර්තා පෙර පරිදිම මෙරට ගුවන් තොටුපලේදී අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව එහි සඳහන් වේ.