අප්‍රිකානු රටවල් හයකට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්

අප්‍රිකානු රටවල් හයකට ශ්‍රී ලංකාවෙන් සංචාරක තහනමක්

අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම්දෙන තුරු අප්‍රිකානු රටවල් හයක මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කර තිබේ.

එම රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තයයි.

දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමගයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

අද දිනයේ පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ.

අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ.

මේ අතර ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක ගුවන් ගමන් අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඒ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවල් සඳහායි.

අමෙරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයට අනුව අනිද්දායින් පසු මෙම රටවල සිට අමෙරිකාවට පැමිණීමට හැකි වනුයේ අමෙරිකානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණය.

මේ අතර යුරෝපා සහ ආසියානු රටවල් රැසක්ද මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා ඇත.

එමෙන්ම දැනට ආසාදිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම රටවල සිට සිදුකෙරෙන සංචරණ වහා අත්හිටුවන ලෙස යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා තිබේ.