කාලගුණය යළිත් නරක අතට !

කාලගුණය යළිත් නරක අතට !

දිවයිනට ගිණිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළාත් 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේයි.

මහනුවර දිස්ත්‍රික්කය

▪️උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
▪️මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මාතලේ දිස්ත්‍රික්කය

▪️රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

▪️අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මේ අතර දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.