විශ්වවිද්‍යාල නැවත ඇරඹීමට සැලසුම්

විශ්වවිද්‍යාල නැවත ඇරඹීමට සැලසුම්

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට උපකුලපතිවරුන්ට අද (26) සිට අවසර ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

ඒ අනුව කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමටත් එහිදී විභාග හා ප්‍රයෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වය ලබාදීමටත් තීරණය කර තිබේ.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා තීරණ දැනුම් දුන්නේය.

මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගෙන්     
90 % එන්නත්කරණයට ලක්ව ඇති බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, විශ්වවිද්‍යාල සඳහා කැඳවිය හැක්කේ කොවිඩ් මර්දන දෙවන එන්නතත් ලබා ගෙන දින 14 ක් ඉක්මවූ සිසුන් පමණක් බවයි.


එසේම මේ වන විට විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බවත් රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම ගොඩනැගිලි ද නිදහස් කළ පසුව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකියාව පවතින බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.