නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට

නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට

මෙවර නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට හිමිව තිබේ.

ඔවුන් දෙදෙනා වන්නේ පිලිපීන මාධ්‍යවේදිනී මාරියා රෙසා හා  රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරතොව් ය.


සත්‍ය ගවේෂණය වෙනුවෙන් පෙනී සිටින සියලු මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින් ලෙස ඔවුන්ව හඳුන්වා දුන් නොබෙල් කමිටුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ භාෂණයේ නිදහස වෙනුවෙන් ගෙන ගිය අරගලය ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සාම ත්‍යාගය පිරිනැමෙන බවයි නිවේදනය කළේ.

මාරියා රෙසා 2012 දී රැප්ලර් නමින් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ආරම්භ කරමින් පිලිපීනය තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කළ අතර එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළාය.

ඇය සමාජ මාධ්‍ය හරහා ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් දූෂණය පිටුදැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක නිරතවන මාධ්‍යවේදිනියකි.

රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරතොව් 1993 වසරේ සිට නෝවායා ගැසෙටා නැමති පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි.

එම පුවත්පත මගින් විලැද්මීර් පුටින් ඇතුළු රුසියානු පාලක පැලැන්තිය දැඩිව විවේචනය කරන ඔහු, එරට සිදුවන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගවේෂණාත්මක වාර්තා රැසක් ඉදිරිපත් කළේය.